Tuesday, December 31, 2013

පැතුම්...


සැමදා ඔබෙ වදන් මුදු සුසිනිදු වේවා
සැමදා නුඹේ සුසුම් උණුසුම ගෙනදේවා
සැමදා පෙම් පැතුම් හදවත ඇති වේවා 
සැමදා මේ පැතුම් මල් අපෙ පිබිදේවා...

~නෙතුපුල්~

Tuesday, December 24, 2013

සිහිනය...


නිදි නැති රැයේ තනියට නොව හඬවන්න
කිසිවෙකු නොදන්නා තරමට රිදවන්න
රිදුමක වේදනා මේ යැයි පවසන්න 
සිහිනය පුරා නුඹ සිටියා සැමකල්ම...

~නෙතුපුල්~

Monday, December 23, 2013

සයුරු දිය...



අවැසි වුයේ දිය බිඳක් නම්
නුඹ පුදන්නේ
සමුදුරක්
වියලි ගිය මා දැවුණු දිවියට
නොලැබුණා මට දිය පොදක්...

තෙරක් නොපෙනෙන නුඹේ කඩඉම්
කරක් ගසනා නුඹේ දිය රැල්
ඉමක් නොපෙනෙන නුඹේ ඕවදන්
නුඹත් නොදනී නුඹේ සිත් රැල්...

දිගක් පළලක් මනින්නට බැරි
දිය බිඳක් වත් පුදන්නට බැරි
මට නොවෙයි සැම දෙනටමත් හිමි
නුඹේ දිය
මට නොදෙයි හසරැලි...



හිතට හරි නැති උනාට අද කවියක්වත් නොලියවෙන දවසක් වෙලා...මේක ලියල ගොඩක් කල්...අහම්බෙන් හම්බ උනේ...

~නෙතුපුල්~

Friday, December 6, 2013

මටම දොස් පවරන නුඹට...


හැරදා ගියා නුඹ මා එක මංසලක 
හැඬුවා මා මගේ දිවි අතහැර කලක 
දුටුවා, නොදුටුවා මා විඳි දුක් ගැහැට 
කිසිදා නොසිතුවා සනසන්නට මසිත...

කිසිදා නොදැනුනිද මා තනිවූ බවට 
කිසිදා නොසිතුනිද මා අසරණ වගට 
කිසිදා නොපැතුවා යලි එන්නට මවෙත  
දුටුවේ නැතිද මා මෙහි මිය යන බවට...

හැඬුවා වැලපුණා තනියම සැම දිනක 
පැතුවා කැළඹුනා සැමදා මේ ලෙසට 
හැරදා ගියත් මා ගත මේ දුක් ගැහැට
කිසිදා නොදුන්නා හදවත වෙන අතක...

~නෙතුපුල්~ 

මා අමතක කර දැමූ නුඹට...


පිදුවෙමි ආදරය නුඹ හට නිකැළැල්ව 
පැතුවෙමි සිටින්නට එක්වී සැම කල්ම 
සිතුවෙමි ලබන්නට නුඹ දිවි ඇති කල්ම 
දුටුවෙමි සිහින නුඹ ගැන මා සැම කල්ම

පිදුවත් ආදරය නුඹ එය නොදුටුවෙද
පැතුවත් ඒ පැතුම් නුඹ හට නොදැනුනිද
සිතුවත් මගෙ සිතුම් නුඹ හට නොපෙනුණිද
දුටුවත් මා සිහින නුඹ එය නොසිතුවෙද...?

~නෙතුපුල්~ 

Monday, November 25, 2013

නුඹ වෙනුවෙන් ලියැවෙන මගේ සිතුවිලි...


මතකය පිරී ඇත නුඹ ගැන සිතුම් රැලින්
සවනත පිරී ඇත නුඹ කිව් වදන් වලින්
සැමදින පිරී ගිය නුඹ සිත සෙනේ මලින් 
අමතක නොවේ එය කිසි දින මගේ සිතින්....

හැරදා පැමිණි මුත් නොගියෙමි නුඹේ සිතින්
හැරදා ගියත් නුඹ ගියෙ නැත මගේ සිතින්
සැමදා මා නුඹට ආලය කරමි සිතින්
සැමදා සුබ පතමි නුඹ හට මගේ සිතින්... 

~නෙතුපුල්~

Friday, November 22, 2013

මට ආදරය නොකරන නුඹට....


පැතු මාලිගා දිය කර පා කරලන්න 
සිතු චේතනා ගුලි කර විසි කරලන්න 
විඳි වේදනා නිම කර දිවි රැකගන්න 
සිතුවිලි වලින් මගෙ නුඹ ඈතට යන්න... 

නුඹ කියු වදන් මට බැහැ තව ඉවසන්න 
නුඹ ගැන සිතා බැහැ මට තව දුක්වන්න 
නුඹ ගැන පතා බැහැ තව මට වෙහෙසෙන්න 
දැන්වත් මගේ දිවියට සැනසුම දෙන්න...

~නෙතුපුල්~

Sunday, November 17, 2013

නුඹ නොමැති කල...


වැහි නැති වුවොත් ගං දිය වියලී යාවී
පිනි නැති වුවොත් මල් පෙති මැලවී යාවී
හිරු නැති වුවොත් පිපි මල් පරවී යාවී
නුඹ නැති වුවොත් මා දිවි විසීරී යාවී...

~නෙතුපුල්~

අපේ දුක්බර සංවාද....

~කළු හිම~
සඳ පමණක්ද තරු වල තනියට ඉන්නේ
හිත හඬවන්න ඇයි ඔබ මසිතට එන්නේ?

~නෙතුපුල්~
සඳ පමණක්ය තරුවේ තනිකම දන්නේ
දුක් දෙන්නට නොවේ ඔබ සිත මා ඉන්නේ....

~කළු හිම~
සීතල සොයා පිනි බිඳු මා වෙත එද්දී
දවසක් ගෙවාගන්නට මා වෙහෙසෙද්දී
හදවත් ඔබම ඉල්ලා මා රිදවද්දී
මොහොතින් මොහොත මිය යමි යලි ඉපදෙද්දී

~නෙතුපුල්~
පුද දුන් ආදරය ඔබ හට නොදනුනිද
දිය කල ජීවිතය නිමි බව නොපෙනුණිද
හිමි වූ සියලු දේ නැති බව නොහැඟුනිද
තවමත් නුඹේ සිත යලි පන නොනැගුනිද?

~කළු හිම~
පුද කල සියලු දේ පුදසුන මත රන්දා
දිය කල හල ඔබේ දිවියත් මා හින්දා
කල හැම දේම ගඟකට කපු ඉනි හින්දා
සෙනෙහස වයිරයට පෙරලේදෝ මන්දා......

මෙතනින් එහාට පිළිතුරු කවියක් ලියන්න මට හයියක් තිබුනේ නැහැ...මගේ සෙනෙහස වයිරයකට පෙරලෙන්නේ නැති බව ඔයා මේ වෙද්දී දැනගන්න ඕනි නේද...?

~නෙතුපුල්~

Friday, November 1, 2013

සැමදා ඇයටම කැප වෙන නුඹට...


ඉරිතලා ගිය මගේ සිත නුඹ යලි යලිත් පාරා දමන්නේ
හුදකලා වුනු මගේ දිවියම තලා පාගා පොඩි කරන්නේ
නුඹට කැප කල මගේ පණ නළ ඇයිද නුඹ අමතක කරන්නේ 
නුඹට වද දුන් ඇගේ හදවත ඇයිද සැමදා නුඹ රකින්නේ? 

~නෙතුපුල්~

Friday, October 25, 2013

ඔබ...


මොහොතක් වත් නොවෙනස් නොම වෙන ඔබ
මොහොතක් වත් මා වෙත නොරැඳෙන ඔබ
මොහොතින් මොහොතට ගොස් යලි එන ඔබ
මොහොතින් කැළඹෙන සමුදුර වැනි ඔබ... 

~නෙතුපුල්~

Sunday, October 20, 2013

හෙට දින...


සිතුරැල් පිබිදේවි කවි සිතුවිලි ඒවී
පදවැල් ගැලපේවි රස කවි ලියවේවී
නෙතුකැන් විහිදේවි මුදු දසුනක් වේවී
එනමුත් නුඹ නේවි මගෙ දිවියට පේවී...

කිසිවක් නොකෙරේවි තව දිනයක් ඒවී
එදිනත් නුඹ යාවි ඇය වෙතටම පාවී
දිනයක් තව යාවි මගෙ දිවියෙන් සේදී 
එදිනත් තනිවේවි, තනියම මියැදේවී...

~නෙතුපුල්~

Thursday, October 17, 2013

නැවත මා වෙත හැරුණු නුඹට...


අදරින් පිරි වදන් මට පවසන්න එපා 
සුසුමන් මගේ මුව මත රඳවන්න එපා 
සිත්මල් මගේ නැවතත් පුබුදන්න එපා 
රෑ මැදියමේ මා හඬවා යන්න එපා...

සිතුවත් නොසිදුවන දේ මට කියනු එපා
කිසිදා නොම විඳින සිහිනය දකිනු එපා
නුඹටත් නොවැටහෙන ඒ බස් දොඩනු එපා
සැමදා කඳුළු බොන්නට ඉඩ හදනු එපා...

~නෙතුපුල්~

මොහොතින් වෙනස් වන නුඹේ ප්‍රේමය...



අවේලාවට වැටෙන වැහි බිඳු 
මවයි බෙහෙවින් සොඳුරු දේදුනු
කරයි මා තුන් සිතම අමයුරු
මවා ඇති තුරු
දසුන් පියකරු...

වලාකුලකින් වැසුණු පසු හිරු
කරයි සැනෙකින් අඳුරු බියකරු 
මවා තිබු ඒ දසුන් පියකරු 
මැකී යයි
එක සැනෙන් බියකරු...

සිතේ ඇතිවුණු සියලු පිවිතුරු
සිතුම් මල්
කරවමින් බියකරු.......

~නෙතුපුල්~

Tuesday, October 15, 2013

නුඹ ලිව් කවි නිසා මගේ සිතේ ඇති වුනු සිතුවිලි...

"අහසට තරු කැට සහසක් ආවත් කිසිදා එපා කියයිදෝ
සයුරක රල රැළි බිඳෙන තරමටම වෙරලක් හඬා වැටෙයිදෝ..."

මේ ඔයා මට ලියල එවපු සම්පුර්ණ කරන්න බැරි උන කවි පද දෙක...මෙච්චර කල් මට කෙලින් නොකියපු හැම දේම ඒ පද දෙකේ කියවෙනවදත් මන්දා...ඒ ගැන හිත හිත ඉන්නකොට මගේ හිතේ ඇතිවෙච්ච දුක නැතිවෙන්නයි මම මේ කවිය ලිව්වේ ...ඔයාට නං ගානක් නැහැ...ඒත්...මේ කවියෙන් කියවෙන යථාර්තය තමයි මාව දවස ගානෙම ටිකෙන් ටික මරල දාන්නේ...ආදරේ කියන දේ ගැන මම තිබ්බ විස්වාසේ කඩල බිඳලා දාන්නේ...

මලකින් රොන් බිඳුවක් ගත් පමණින් බඹරිඳු ඒ මලෙහිම නොරැඳේ
ගඟකින් දිය බිඳුවක් බිව් පමණින් මොනරිඳු ඒ අසලක නොරැඳේ
ඇතින් තරු කැටයක් දිලි පමණින් අහසම ඒ එළියෙන් නොදිලේ 
හදකින් පෙම් කුසුමක් ලත් පමණින් කිසිදා ඔහු දිවියේ නොරැඳේ...



~නෙතුපුල්~

Monday, October 14, 2013

මා වෙනුවෙන් නුඹ ලියු කවි...


අතේ තියෙන සල්ලි ඉවර වෙනකල් බිව්වම විතරයි ඔයාට මාව මතක් වෙන්නෙ...ඒත් කමක් නැහැ...එහෙම හරි මතක් වෙලා මෙහෙම මං වෙනුවෙන් ලිව්වනේ...හැමදාමත් වගේ මගේ කවි වලට වඩා ඔයාගේ කවි ලස්සනයි...ඒ කවි හැමදාම මගේ හදවත ඇතුලේ තියෙන වේදනාවට එකතු වෙනවා...දවසින් දවස වැඩි මිස අඩු නොවන ඒ තනිකම...හැම දෙයක්ම එපා වෙලා යන තරමට මාව රිද්දන ඒ වේදනාව...එක අතකට ඒ වේදනාවත් හොඳක්...මොකද මම තාමත් පණ පිටින් කියන එක මටම මතක් කරල දෙනවා...

හිනැහෙන තරමට හසරැලි සුන්දරනම්
වැළපෙන තරමට කඳුලැලි දුක්බරනම්
පවසන තරමට සෙනෙහස සුන්දරනම්
කෙලෙසක ඔබ මා විඳවන්නේ මෙතරම්...

ඇත්තටම...මම විඳවන තරමට ඔයත් විඳවනවද? එහෙනං ඇයි මේ වේදනාවල් ඉවරයක් කරන්න පුළුවන් දේ නොකරන්නේ? අනේ මන්ද...

මේ ඉවර කරන්න බැරි උන ඔයාගේ අනික් කවිය....මුල් පද දෙක විතරයි ඔයා එව්වේ...මම මට පුළුවන් තරමින් ඒක සම්පුර්ණ කලා...කවදා හරි දවසක මගේ බ්ලොග් එක කියෙව්වොත්...ඔයා කැමතිද කියල බලන්න...

අහසට තරු කැට සහසක් ආවත් කිසිදා එපා කියයිදෝ
සයුරක රල රැළි බිඳෙන තරමටම වෙරලක් හඬා වැටෙයිදෝ...
තරුවක රුව දැක බැඳුනු තරමටම හදවත සදා බැඳේදෝ
මලකට පෙම් බැඳ රොන් බිව් තරමට දිවියේ සදා රැඳේදෝ...

~නෙතුපුල්~ 

Wednesday, October 9, 2013

තෙත් නොවූ ඔබේ හිත...


සෙව්වේ දිය බිඳකි කතරට දිවි දෙන්න
ඇසුනේ "පිණි පොදක් වෙමි, මා වෙත එන්න"
දුන්නේ ජීවයයි නුඹේ දිවි පණලන්න
ලැබුනේ හිරු රැසයි මා ගත වියලන්න...

වියැලුණු හදට ආලය ඕනෑ නැතිය
පැටලුනු කලට විසඳුම් ඕනෑ නැතිය 
මියැදුණු කලට දිය බිඳු ඕනෑ නැතිය
නැතිවුණු කලට දිවියක් ඕනෑ නැතිය...

~නෙතුපුල්~

Monday, October 7, 2013

මට හිමි නොවුණු නුඹේ ප්‍රේමය...


මා වෙත බැඳෙන යලි විසිරෙන නුඹේ සිත
ආලෙන් බැඳුනු මා හද කරවයි සසල
ප්‍රේමෙන් තොර ලොවක් තිබුනෙ නැත මසිත
ඒ ලොව බැබලුවේ නුඹ පමණයි දසත

හැර එමි කියා කීවත් නුඹ ඒ දවස
හැර දා නොයයි නුඹ නම් ඈ කිසි දවස
හිමි වෙයි කියා සිතුවත් නුඹ මතු දවස 
නොම වෙයි ඒ සිහින ඇත්තක් කිසි දවස... 

~නෙතුපුල්~



රළු හිත...


හමුවී නොහමු වූ ලෙස වෙන්වූ දවස 
නුඹේ පෙම ඉදිරියේ අසරණ  වූ දවස
හඬමින් වැලපෙමින් මා සමුගත් දවස
නුඹ හට නොදැනේවී මා මිය ගිය දවස

~නෙතුපුල්~

Wednesday, October 2, 2013

නුඹේ ආදරය වෙනුවෙන් ලියැවුණු කවි...


මිහිරියි නුඹේ වදන් මා සවනත වැටෙන
සොඳුරුයි නුඹේ සුසුම් මා දෙකොපුල රැඳෙන 
මිහිරියි එම පැතුම් අප එක් වී පතන 
සොඳුරුයි ඒ මොහොත අප එක් වී සිටින 
.
.
.
නෙතු කැන් පුරා සෙනෙහස් මල් පිපුනාට
නෙතු නිදි වරා පෙම් බස් අප දෙඩුවාට
හද පුරවලා පෙම් සිතුවිලි වින්දාට
අපි අපෙ සිතුම් රැල් තේරුම් ගත්තාද?

~නෙතුපුල්~

තනිකම...



කැලැඹුණු මගේ සිත් මල සනසා ගන්න 
පැටලුනු ජීවිතේ අඩු තැන් පුරවන්න 
බරවුනු මගේ හිස උර මත රඳවන්න 
කවදද එන්නෙ නුඹ, මගෙ හද සනසන්න...?

~නෙතුපුල්~

Monday, September 30, 2013

බිඳුණු පෙම...


පැතු එම පැතුම් සිහිනයකින් නිම වෙන්න
සිතුවිලි කැඩී ගොස් කඳුලැල්ලක් වෙන්න
පෙම් සිත බිඳී ගොස් පෙම අවසන් වෙන්න
කිසිදා නොපැතුවෙමි දිවියේ තනි වෙන්න...

~නෙතුපුල්~

Friday, September 27, 2013

මා වෙනුවෙන් ලියැවුණු ඔහුගේ සිතුවිලි...

දැනට අවුරුදු දෙකකට විතර කලින්...ඔයා මට ගොඩක් ආදරේ කරපු කාලේ (ඔව් එහෙම කාලයකුත් අපිට තිබුණා) ඔයා මං වෙනුවෙන් ලිව්ව මේ කවිය අපේ මැරුණු ආදරය වෙනුවෙන් බ්ලොග් එකේ සටහන් කරන්නේ....මේ කවියට වගේම ඒ කාලයටත් මම ගොඩක් ආදරෙයි...


~නෙතුපුල්~

Wednesday, September 25, 2013

සත්‍ය ප්‍රේමය


කිසිවෙක් නොදුටු
සැම පවසපු
සත්‍ය ප්‍රේමය...
අමරණීයයි
විඳින්නට සුන්දරයි
අවදි වූ කල 
සිහිනයක් පමණයි...

~නෙතුපුල්~


Thursday, September 19, 2013

තරු කුමරියට සඳ කිව් කවි...


තරු කුමරියනි නුබේ කඳුළැලි මට පෙනුනි
හිරු නොම දකින  ඒ කදුළැලි මට දැනුනි
තරු වන් දෑස වෙහෙසා නොහඬනු කුමරි
හිරු නොදුටුවත් ඒ කඳුළැලි මම පිසිමි

දහවල් කලට සොඳුරුයි ඔබෙ සිනා රැලි
සිහිලැල් සොඳුරු  වදනුයි ඇති මුවේ පිරි
නෙතුකැන් වසා ගත්තත් කඳුළැල් සපිරි 
මම දන්නවා, සිත ඇත්තේ දුකින් පිරි

තරු කුමරියෙනි නුඹේ දුක්බර සිතුම් රැලි
හිරු නොදකීවි කිසි දින ඒ කඳුළු රැලි
හිරු හැර දමා මා වෙත එනවනම් හැරි 
හිරු නොම වුවත් විය හැක මට නුඹේ හිමි 

හිරු දැඩි වේවි එය නවතනු බැරි වේවි 
මම හිරු නොවෙමි සඳු වෙමි ඔබ හට ප්‍රේමි 
හිරු ඔබ දවයි මම සිසිලස ගෙන දේවි 
තරු කුමරියගෙ තනිකම පලවා දාවි 

හිරු හැර දමා මම සඳු වෙතටම ආමි 
සඳ හැංගිලා මුළු අහසම හිස් වේවි 
තරු කුමරියගෙ කඳුළැල් තව නැත වේලි 
හිරු සඳු දෙකම නොමැතිව කඳුළැල් සලමි

~නෙතුපුල්~


Monday, September 16, 2013

මට ආදරය කරන...ඔබට...



නිදහස්, සොඳුරු මගෙ යව්වන සමය 
නිම වී ගොසින් එය ආදරයත් සමග
කොතරම් බලන් උන්නත් ප්‍රේමාතුරව 
ඔබහට නොලැබේවි මහදින් ආදරය 

වියලුණු හදකි මා හට ඉතිරිව ඇත්තේ
ඒ හදවතෙහි ආලය ඉතිරිව නැත්තේ
මා වෙනුවෙන් නුඹ කැප විය යුතු නැත්තේ
නුඹේ ආදරය මතුවට සුරැකිය යුත්තේ 

ඔබ මග දමා යන්නට මට නොසිතේවි 
එනමුත් මිතුදමින් මතුවක් නොලැබේවි
ඔබෙ ආදරය මතු සැමදින සුරැකේවි 
ඔබ හට පෙම් කරන කිසිවෙක් හමුවේවි

~නෙතුපුල්~