Saturday, November 26, 2016

මගේ නොවන මගේ ආදරය...

නිකැලැල් සිනාවෙන් පිරි නුඹෙ මුව මඩල
පිබිදී යාවි දුටු කල මා සැම දිනම
විහිදා දෑත පටලා මා ගෙල වටම
සිඹිනා කලට නොදැනේ කිසි දුක් මෙමට

කිසිදා නොවිඳි මවු පදවිය අහිමි කල
නුඹ රන් රුවන් පරදයි හිමි නැතත් මට
නුඹ වන් පුතෙක් ලබනට පින් නැතත් හෙට
නුඹෙ ආදරය එලියයි තනි දිවි මගට...

~නෙතුපුල්~

Wednesday, November 23, 2016

සඳ

පුර පොහෝ දින
දිදුලනා සඳ
පෙන්නුවත්
නුඹ නොදුටු ඒ සඳ
අමාවක දින
රිදවමින් නෙත
සොයා වෙහෙසී
හඬනු කුමටද...

~නෙතුපුල්~

Saturday, November 5, 2016

පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන්...

සඳ තරුත් නිහඬ කර
සිතුවිලිත් සසල කර
දී කඳුලු නෙත් අගට
නික්මුනා ඔබ දුරට...

කෙසේ නම් ඉවසමිද
අඩ අඳුර පිරි ලොවම
වසා ඇත අද
ඝණඳුර...

~නෙතුපුල්~

Thursday, September 22, 2016

අසම්මත පෙම...

හවස බැස යන
හිරුගෙ කිරණට
පෙම් කලෙමි
මගෙ යැයි සිතා

එහිරු කිරණත
රැදුන උණුහුම
මගේ පෙති
විකසිත කලා...

සුමුදු මොලකැටි
එමල් පෙති මත
නපුරු පිණි බිදු
විසිරැනා

එබව දැන දැන
ලොවට පෙනෙනට
හිරුත් මුහුදේ
සැඟවුනා...

හිරුගෙ සරණක්
නොලැබ කඩුපුල
රැයේ තනියම
වැලපුනා

හිරුට බැදි පෙම
නිසා අසරණ
මලක් දිවියේ
තනිවුනා...

-නෙතුපුල්-

Sunday, July 17, 2016

කඳුළු...

සිතක් පුරවන
පැතුම් පොදි බැඳ
නුඹට කැප කල
මගේ පෙම් මල
නුදුටු දෑසින්
ඉවත බලමින
නුඹේ සෙනෙහස
ඇයට පුද දෙන...

නුඹට නොදැනෙන
මසිත රිදවන
නුඹට වෙන් කල
මගේ දිවි මග
නුඹෙන් ඉල්ලන
එකම එක දෙය
නොලැබ තනිවම
සොවින් වැලපෙන...

~නෙතුපුල්~






Monday, March 21, 2016

:(

රිදුණු මා සිත
සනස ගන්නට
කිවූ වදනෙන්
රිදුන නුඹ සිත

දකින මා හද
දවන රිදුමක
තරම නුඹ හට
දැනේවිද අද...

Wednesday, February 24, 2016

සෙනෙහසේ කඳුළු...

ආදරය කල තරම් 
සෙනෙහසක් ලැබුනි නම් 
කඳුළු වැල් නොගලාවි
දුක් සුසුම් නොසැලේවි
නුඹ දමා හැර යන්න
කිසි දිනක නොසිතේවි...

~නෙතුපුල්~

Tuesday, February 16, 2016

සිහිනය

සිහිනයක් නම් මෙය
අවදි වන්නට
බැහැ මට...

~නෙතුපුල්~

Monday, February 15, 2016

තනිකම...



මතකෙන් නොමැකේවි කිසිවක් කිසිදාක
සිනහව රැව් දේවි සවනත හැමදාම
සුසුමක් ගිලිහේවි තනියට නැතුවාම 
උණුහුම අරන් එන්නේ නුඹ කවදාක...

~නෙතුපුල්~

Saturday, January 9, 2016

පිණි බිඳුව...


අඳුරු රැය ගෙවෙනා තුරා
සොඳුරු සිතුවම් හද පුරා
තුරුළු කරගෙන - නුඹේ උරහිස
මා සුසුම් රැල් දැවටුණා 

තුෂර බිඳු තණ පියලි මත්තේ 
මුතු පබළු සේ දැවටුණා
හිරු කිරණ ඒ පබළු ඔස්සේ
සුසම් රැල් විහිදාලුවා...

සඳුට පමණක් පෙනෙන සෙනෙහස
හිතේ කොනකට සිරවුණා 
හිරුට හිමි ලොව පිණි බිඳුව මම
බලා ඉමි රැය එන තුරා...

~නෙතුපුල්~