Friday, November 22, 2013

මට ආදරය නොකරන නුඹට....


පැතු මාලිගා දිය කර පා කරලන්න 
සිතු චේතනා ගුලි කර විසි කරලන්න 
විඳි වේදනා නිම කර දිවි රැකගන්න 
සිතුවිලි වලින් මගෙ නුඹ ඈතට යන්න... 

නුඹ කියු වදන් මට බැහැ තව ඉවසන්න 
නුඹ ගැන සිතා බැහැ මට තව දුක්වන්න 
නුඹ ගැන පතා බැහැ තව මට වෙහෙසෙන්න 
දැන්වත් මගේ දිවියට සැනසුම දෙන්න...

~නෙතුපුල්~

2 comments:

  1. මේ කවි වල තේරුම ලියපු දේට වඩා වෙනස් අයුරින් මට පෙනීම මගේ තේරුම් ගැනීමේ හැකියාවේ වෙනසක් දැයි මට නොවැටහේ... නෙතුපුල් මෙය ඔහුට ලියු කවි පන්තියක් යයි මට කිසි දිනෙක නොහැඟේ. එහෙත් එය සැමට පෙනෙන, සැවොම දකින ඇගේ උඩු සිත විසින් , හැමට නොපෙනන, සැම නොදකින යටි සිතට කරන අසරණ ආයාචනයක්, එසේත් නොමැති නම් අණක් ලෙස විටෙක මම දකිමි.

    පළමු පද්‍යයෙන්, යටි සිතෙහි වූ සිතුම් පැතුම් යටි සිත පවසන අතර, ඒ සමග ම ඇති වූ වේදනාවන් ද මතක් කර දෙයි. උඩු සිත සිය තර්ක නුවනින් වේදනාව හා සිතුම් පැතුම් අතර දෝලනය වී තීරණයක ට එළඹෙයි. දැඩිව දැනෙන වේදනාව හැර යාම නිගමනයයි. යටි සිත ඒම තීරණය එක හෙලා පිලි ගනී නම් ගැටළුවක් නොමැත. යටි සිත හා උඩු සිත සාධාරණත්වය උදෙසා සටන් වදිනු ඇත.

    දෙවැනි පද්‍යය හරහා එම තීරණය සාධාරණීකරණය කිරීමට උඩු සිත කරුණු රැස් කරයි. නඩුවක, යටි සිත නම් වූ විත්ති පාර්ශ්වයට එදිරිව, උඩු සිත නම් වූ පැමිණිලි පාර්ශ්වය කරුණු එක්රැස් කරන්නාක් මෙන්.

    තීන්දුව කුමක් වේද? විත්තිය දඩු කඩෙහි ගසාවි ද? පැමිණිල්ල නඩුව ඉල්ලා අස් කර ගනීද? ජීවිතය නමැති නඩුව විසඳීමට නෙතුපුල් ට ඉඩ දී බලා හිඳීම හැර එක් පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටීම කල නොහැක්කකි. මන්ද තීන්දුව අවසන ස්වභාවික යුක්ති ධර්මයනට පටහැනි එකක් නොවිය යුතු බව මා අදහන බැවිනි.

    ReplyDelete
    Replies
    1. සිතුවිලි දහර කියන දේ එක අතකට මම හිතන්නේ හරි. මගේ හිතත් ඔය විදිහට තර්ක කරනවා තමයි....මමවත් දන්නෙ නැහැ තීන්දුව මොකක් වේවිද කියල...මටත් තියෙන්නේ බලන් ඉන්න එක විතරයි... :(

      Delete