Friday, October 25, 2013

ඔබ...


මොහොතක් වත් නොවෙනස් නොම වෙන ඔබ
මොහොතක් වත් මා වෙත නොරැඳෙන ඔබ
මොහොතින් මොහොතට ගොස් යලි එන ඔබ
මොහොතින් කැළඹෙන සමුදුර වැනි ඔබ... 

~නෙතුපුල්~

Sunday, October 20, 2013

හෙට දින...


සිතුරැල් පිබිදේවි කවි සිතුවිලි ඒවී
පදවැල් ගැලපේවි රස කවි ලියවේවී
නෙතුකැන් විහිදේවි මුදු දසුනක් වේවී
එනමුත් නුඹ නේවි මගෙ දිවියට පේවී...

කිසිවක් නොකෙරේවි තව දිනයක් ඒවී
එදිනත් නුඹ යාවි ඇය වෙතටම පාවී
දිනයක් තව යාවි මගෙ දිවියෙන් සේදී 
එදිනත් තනිවේවි, තනියම මියැදේවී...

~නෙතුපුල්~

Thursday, October 17, 2013

නැවත මා වෙත හැරුණු නුඹට...


අදරින් පිරි වදන් මට පවසන්න එපා 
සුසුමන් මගේ මුව මත රඳවන්න එපා 
සිත්මල් මගේ නැවතත් පුබුදන්න එපා 
රෑ මැදියමේ මා හඬවා යන්න එපා...

සිතුවත් නොසිදුවන දේ මට කියනු එපා
කිසිදා නොම විඳින සිහිනය දකිනු එපා
නුඹටත් නොවැටහෙන ඒ බස් දොඩනු එපා
සැමදා කඳුළු බොන්නට ඉඩ හදනු එපා...

~නෙතුපුල්~

මොහොතින් වෙනස් වන නුඹේ ප්‍රේමය...



අවේලාවට වැටෙන වැහි බිඳු 
මවයි බෙහෙවින් සොඳුරු දේදුනු
කරයි මා තුන් සිතම අමයුරු
මවා ඇති තුරු
දසුන් පියකරු...

වලාකුලකින් වැසුණු පසු හිරු
කරයි සැනෙකින් අඳුරු බියකරු 
මවා තිබු ඒ දසුන් පියකරු 
මැකී යයි
එක සැනෙන් බියකරු...

සිතේ ඇතිවුණු සියලු පිවිතුරු
සිතුම් මල්
කරවමින් බියකරු.......

~නෙතුපුල්~

Tuesday, October 15, 2013

නුඹ ලිව් කවි නිසා මගේ සිතේ ඇති වුනු සිතුවිලි...

"අහසට තරු කැට සහසක් ආවත් කිසිදා එපා කියයිදෝ
සයුරක රල රැළි බිඳෙන තරමටම වෙරලක් හඬා වැටෙයිදෝ..."

මේ ඔයා මට ලියල එවපු සම්පුර්ණ කරන්න බැරි උන කවි පද දෙක...මෙච්චර කල් මට කෙලින් නොකියපු හැම දේම ඒ පද දෙකේ කියවෙනවදත් මන්දා...ඒ ගැන හිත හිත ඉන්නකොට මගේ හිතේ ඇතිවෙච්ච දුක නැතිවෙන්නයි මම මේ කවිය ලිව්වේ ...ඔයාට නං ගානක් නැහැ...ඒත්...මේ කවියෙන් කියවෙන යථාර්තය තමයි මාව දවස ගානෙම ටිකෙන් ටික මරල දාන්නේ...ආදරේ කියන දේ ගැන මම තිබ්බ විස්වාසේ කඩල බිඳලා දාන්නේ...

මලකින් රොන් බිඳුවක් ගත් පමණින් බඹරිඳු ඒ මලෙහිම නොරැඳේ
ගඟකින් දිය බිඳුවක් බිව් පමණින් මොනරිඳු ඒ අසලක නොරැඳේ
ඇතින් තරු කැටයක් දිලි පමණින් අහසම ඒ එළියෙන් නොදිලේ 
හදකින් පෙම් කුසුමක් ලත් පමණින් කිසිදා ඔහු දිවියේ නොරැඳේ...



~නෙතුපුල්~

Monday, October 14, 2013

මා වෙනුවෙන් නුඹ ලියු කවි...


අතේ තියෙන සල්ලි ඉවර වෙනකල් බිව්වම විතරයි ඔයාට මාව මතක් වෙන්නෙ...ඒත් කමක් නැහැ...එහෙම හරි මතක් වෙලා මෙහෙම මං වෙනුවෙන් ලිව්වනේ...හැමදාමත් වගේ මගේ කවි වලට වඩා ඔයාගේ කවි ලස්සනයි...ඒ කවි හැමදාම මගේ හදවත ඇතුලේ තියෙන වේදනාවට එකතු වෙනවා...දවසින් දවස වැඩි මිස අඩු නොවන ඒ තනිකම...හැම දෙයක්ම එපා වෙලා යන තරමට මාව රිද්දන ඒ වේදනාව...එක අතකට ඒ වේදනාවත් හොඳක්...මොකද මම තාමත් පණ පිටින් කියන එක මටම මතක් කරල දෙනවා...

හිනැහෙන තරමට හසරැලි සුන්දරනම්
වැළපෙන තරමට කඳුලැලි දුක්බරනම්
පවසන තරමට සෙනෙහස සුන්දරනම්
කෙලෙසක ඔබ මා විඳවන්නේ මෙතරම්...

ඇත්තටම...මම විඳවන තරමට ඔයත් විඳවනවද? එහෙනං ඇයි මේ වේදනාවල් ඉවරයක් කරන්න පුළුවන් දේ නොකරන්නේ? අනේ මන්ද...

මේ ඉවර කරන්න බැරි උන ඔයාගේ අනික් කවිය....මුල් පද දෙක විතරයි ඔයා එව්වේ...මම මට පුළුවන් තරමින් ඒක සම්පුර්ණ කලා...කවදා හරි දවසක මගේ බ්ලොග් එක කියෙව්වොත්...ඔයා කැමතිද කියල බලන්න...

අහසට තරු කැට සහසක් ආවත් කිසිදා එපා කියයිදෝ
සයුරක රල රැළි බිඳෙන තරමටම වෙරලක් හඬා වැටෙයිදෝ...
තරුවක රුව දැක බැඳුනු තරමටම හදවත සදා බැඳේදෝ
මලකට පෙම් බැඳ රොන් බිව් තරමට දිවියේ සදා රැඳේදෝ...

~නෙතුපුල්~ 

Wednesday, October 9, 2013

තෙත් නොවූ ඔබේ හිත...


සෙව්වේ දිය බිඳකි කතරට දිවි දෙන්න
ඇසුනේ "පිණි පොදක් වෙමි, මා වෙත එන්න"
දුන්නේ ජීවයයි නුඹේ දිවි පණලන්න
ලැබුනේ හිරු රැසයි මා ගත වියලන්න...

වියැලුණු හදට ආලය ඕනෑ නැතිය
පැටලුනු කලට විසඳුම් ඕනෑ නැතිය 
මියැදුණු කලට දිය බිඳු ඕනෑ නැතිය
නැතිවුණු කලට දිවියක් ඕනෑ නැතිය...

~නෙතුපුල්~

Monday, October 7, 2013

මට හිමි නොවුණු නුඹේ ප්‍රේමය...


මා වෙත බැඳෙන යලි විසිරෙන නුඹේ සිත
ආලෙන් බැඳුනු මා හද කරවයි සසල
ප්‍රේමෙන් තොර ලොවක් තිබුනෙ නැත මසිත
ඒ ලොව බැබලුවේ නුඹ පමණයි දසත

හැර එමි කියා කීවත් නුඹ ඒ දවස
හැර දා නොයයි නුඹ නම් ඈ කිසි දවස
හිමි වෙයි කියා සිතුවත් නුඹ මතු දවස 
නොම වෙයි ඒ සිහින ඇත්තක් කිසි දවස... 

~නෙතුපුල්~



රළු හිත...


හමුවී නොහමු වූ ලෙස වෙන්වූ දවස 
නුඹේ පෙම ඉදිරියේ අසරණ  වූ දවස
හඬමින් වැලපෙමින් මා සමුගත් දවස
නුඹ හට නොදැනේවී මා මිය ගිය දවස

~නෙතුපුල්~

Wednesday, October 2, 2013

නුඹේ ආදරය වෙනුවෙන් ලියැවුණු කවි...


මිහිරියි නුඹේ වදන් මා සවනත වැටෙන
සොඳුරුයි නුඹේ සුසුම් මා දෙකොපුල රැඳෙන 
මිහිරියි එම පැතුම් අප එක් වී පතන 
සොඳුරුයි ඒ මොහොත අප එක් වී සිටින 
.
.
.
නෙතු කැන් පුරා සෙනෙහස් මල් පිපුනාට
නෙතු නිදි වරා පෙම් බස් අප දෙඩුවාට
හද පුරවලා පෙම් සිතුවිලි වින්දාට
අපි අපෙ සිතුම් රැල් තේරුම් ගත්තාද?

~නෙතුපුල්~

තනිකම...



කැලැඹුණු මගේ සිත් මල සනසා ගන්න 
පැටලුනු ජීවිතේ අඩු තැන් පුරවන්න 
බරවුනු මගේ හිස උර මත රඳවන්න 
කවදද එන්නෙ නුඹ, මගෙ හද සනසන්න...?

~නෙතුපුල්~