Friday, November 20, 2015

(අ)හිමි

සොඳුරු මොහොතක් 
ගෙවෙන සැම කල
අහිමි බව නුඹ
සිහි කරමි මම...

~නෙතුපුල්~

Friday, November 13, 2015

සාපේක්ෂ සත්‍යය...

වද කහ ද බිව් පසු
සුදු විය නොහැකි වූ කල
අවට උන් කළු කර
සතුටු වුනි උන් පිටුදැක...!

~නෙතුපුල්~

Monday, November 9, 2015

සමාජ සම්මත

සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුහු
මා දෙසට ඇඟිලි දිගු කර
අසම්මත යැයි චෝදනා කළහ
සම්මතය වර්ණනා කළහ...

එහෙත්...

අවස්ථාවක් ආ කල
සම්මතයට පිටුපා
අසම්මතය රස විඳිනට ඇති ඇල්ම
සඟවා ගැනීමට අපොහොසත් වුහ...

~නෙතුපුල්~

ප.ලි. ව්‍යාකරණ වැරදි පෙන්නලා දුන්න ඇනෝ ට ගොඩක් ස්තුතියි....

Monday, November 2, 2015

තනිකමේ සිතුවිලි...

ඝනදුරු රැයක සීතල නැති කරලන්න
බියකරු සිහිනයෙන් මා මුදවා ගන්න
පියකරු වදන් මා සවනත මුමුනන්න 
කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...

සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට 
දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට 
ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට 
හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...

~නෙතුපුල්~



"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ලස්සනම පදය...

Monday, October 26, 2015

අවසන් කවිය...



මතකයෙ  සියලු දේ කැටි කොට යලි දෙන්න
අවසන් වතාවට නොදැකම ඔබ යන්න...
ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්න
මගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...

~නෙතුපුල්~

යතාර්ථය

නුඹත් දන්නා
මමත් දන්නා
වෙන කිසිවෙකුත්
නොදන්නා
යතාර්ථය...

~නෙතුපුල්~






Sunday, October 25, 2015

මෙරුවෙක් පන් සිලට කිව් කව...


අඳුරු රැය දිදුලන
සිත් තුටින් පුරවන
මද සුළගෙ නැළවෙන 
නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?

නැවත යන්නට බැරී
වෙනතක් බලනු නොහැකී
දිවි අඳුරු මැකුනී 
මගේ දිවි නුඹ හටම පුදමී...

සතුට හිමි මොහොතයි
එහෙත් නුඹ තව දිදුලයි
මියැදුනත් සතුටුයි 
නුඹේ උණුසුම සදා මතකයි...

~නෙතුපුල්~


මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...
http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

Saturday, October 24, 2015

තනිකමේ උණුසුම...

මට නුඹ දැනෙන තරමට නුඹ හට මමද
දැනෙනා තරන් තව කිසිවක් සුන්දරද...
නුඹ හෙට ගියත් දුර ගමනක් තනිකඩව
ඔබෙ හද තබා ගමි මා ළඟ උණුහුමට...

~නෙතුපුල්~


පසුව ලියමි: දැනුයි මම දැක්කේ මේ මගේ 75 වන පොස්ටුව කියල. සිතුවිලි 75 කියන්නෙත් ලොකු ගානක්...ඒ ගැන වෙනම සිතුවිල්ලක් ලියන්න ඕනි...

Monday, October 12, 2015

මා වෙනුවෙන් දුක් වන අම්මාට...


කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්න
මොකටද තවත් දීගෙක යන්නේ හනික
තනිකම පොදුයි සැම හට මැරෙනා දිනක
ඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...

සිතනා බව දනිමි නුඹ මා ගැන නිතර
එනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට 
දිවි මග හරිම සරලයි තනිකඩ කමට
ඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?

~නෙතුපුල්~

Tuesday, October 6, 2015

මලක් හිරුට කිව් කව...

Image result for flower under the sun painting

පෙති විදාලන මලක රොන් බිඳු
උරන්නට බමරුන් සිටියි
මගේ පෙති වල දැවටි යන්නට
දහස් බමරුන් මෙහි ඇදෙයි...

හිරු කිරණ ලද මලේ පෙතිවල
රැඳුනු උණුසුම තව තියෙයි
පෙම් කරන්නේ හිරුට පමණයි
ඇවිත් යන බමරුට නොවෙයි...

~නෙතුපුල්~


...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ...
පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

Monday, October 5, 2015

නෙතුපුල්ගෙන් දෙවෙන්ද්‍රෙරා සං වෙත...

ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම සංවාදයක් තියෙනවා...

මාලිනී: 
...එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි...අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි...හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි...
...මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනවා බොනවා. වැඩට යනවා. කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. එත් මම විතරයි...ඔබ නෑ...

සාහිත්‍ය ගුරුතුමා:
තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.
...නොගියොත් යලිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊම ද හොඳය.ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය...

මේ සංවාදයේ මුල් තියෙන්නේ මළවුන්ගේ අවුරුදු දා කියන පොතේ...මේ ඔක්කොම කියවද්දී නෙතුපුල් ට හිතුනු දේ මේ මුල් සංවාද තරන් හර බර නැතුව ඇති...එත්...මේ විදිහට හිතන්න තරන් නෙතුපුල්ට නම් ශක්තියක් නැහැ...


නොයා එන්නට බැරි වුනත් නුඹ 
එපා යන්නට දමා තනිකර
නැවත එනතුරු පෙරුම් පිරුමට
නොහැක මට තනිකමින් ඉන්නට...

හෙටත් හිරු පායාවි - අලුත් මල් පීදේවි
දිනක් ගතවී යාවි - මමත් මෙහි තනි වේවි 

මලට හිරු ඇවැසිමය පෙති විදා පුදන්ට 
මටද නුඹ ඇවැසිමය සිනාවක් පුබුදන්ට...

~නෙතුපුල්~

Monday, September 28, 2015

බලාපොරොත්තුව...


Image result for sad girl window painting

දහස් වර සිහින දුටු
සොඳුරු වූ 
ඒ දවස...
උදා වේවී කියා
බලා සිටිනෙමි 
තවම...

~නෙතුපුල්~

Tuesday, September 15, 2015

ජීවිතය සහ මනුස්සකම...

සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට...

මේ වීඩියෝව දැකපු පලවෙනි වතාවේම මට හිතුන ඇයි මේ මනුස්සයට මෙච්චර හිනා වෙන්නෙ කියල...පහු වෙලා හරි මුණු පොතේ සාධාරණ පොස්ට් එකක් දාල තිබුන...ඒ ලින්ක් එක මෙතනින් බලන්න:
https://www.facebook.com/801928453229889/photos/a.810756802347054.1073741829.801928453229889/895914413831292/?type=1&__mref=message_bubble

ගොඩක් දෙනා මනුස්සකමක් ඇතුව මේකට කොමෙන්ට් දාල තිබුනත් එක්තරා පුද්ගලයෙක් මෙහෙම ලියල තිබුන:

මමනම් මේ කතා කරන විදිය දකින්නේ ඒ අම්මගේ අසරණ කමක් හෝ දුප්පත් කමක් විදියට නෙවෙයි, දෙනෝදාහක් ගැවසෙනතැනක සංවරයක් නැතුව කරන ඉතාම පහත් කතාවක්... හොදින් බලන්න මේක වීඩියෝ කරන්නේ පිටරටක කෙනෙක්.. අරාබියෙන් මේ කෙනාට කියනවා හෙමින් හෙමින් කතාකරන්නකියලා. මෙය ඇසින් දකින කෙනාඋනත් දකිනවා මේ කතාව නරක දෙයක් කියලා ඒක නිවැරදි කරන්න හොද දෙයක් නෙවෙයි. දැඩිලෙසපිළිකුල් කලයුතු දෙයක්.... ඒවගේම..මේ කතාවඅම්මා කියන සළුවෙන් වහන්න එපා...ඒක සංවර අම්මලාට කරන අපහාසයක්....

මේක දැක්කම පුදුම හිතුන මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ මේ ලෝකේ කියල.

මිනිස්සුන්ගේ සංවර කම, හොඳ කම තියෙන්නේ ඒ මනුස්සයට දරාගන්න පුළුවන් තරමේ ආකෘතියක් ඇතුලේ ඉන්නකල් විතරයි...සාමාන්‍ය පවුල් වල ඉපදුනු, සමාජයේ නරකයි කියල වර්ගීකරණය නොවුනු අපිත් කවමදාකවත් නරක වචනයක් කියල නැද්ද? අපිත් මේ තරමින්ම අසරණ වුනොත් මම නං හිතන්නේ නැහැ අපිත් කියයි කියල අනේ ඩාර්ලින් ඔය ෆොන් එක ළමයෙක්ට දෙන්න කියල....

මේ කාන්තාව කොයි තරම් ප්‍රශ්ණ ගොඩක ඉන්න ඇත්ද? ඒ ඇමතුම විසන්ධි වුනාම ආපහු ලංකාවට කතා කරන්න තරන් සල්ලියක් ඒ මනුස්සයට තියෙන්න නැතුව ඇති...ඒ තරමටම තරහ යන එක සාධාරණයි...ඒ කාන්තාවට එතන ඒ විදිහට කතා කරන එක හරි නැහැ කියල තේරුම් ගන්න පුළුවන් තරන් උගත් කමක්, සමාජ දැනුමක් තිබ්බනං මම නං හිතන්නේ ඒ විදිහට වෙන මිනිස්සුන්ට බැලමෙහෙවරකම් කරන්න රට යන්න සිද්ධ වෙන එකක් නැහැ...

වෙන මිනිස්සුන්ට හිනා වෙන්න කලින්...විවේචනය කරන්න කලින්...ඒ තත්වේ තමන්ටම ආරෝපණය කරගෙන බලන්න පුළුවන් උනානං හරිම වටිනවා...

~නෙතුපුල්~

නුඹ හා මම...

Image result for girl watching the boy leaving

ලැබුනොත් ඉඩක් යන්නට මා හැර දුරට
යනවද මා දමා නැවතත් නොඑන්නට
මිදුනොත් නුඹේ සිත මාගෙන් මොහොතකට
නැවතත් හැරී නොම ඒවිද මා වෙතට...

සිහිලැල් පවන වෙන්නට වියලුනු සිතට
මිහිරැති දසුන වන්නට නුඹ මා නෙතට
සෙනෙහස් වදන් අසනට මා සවනතට 
පමණයි අවැසි වුයේ මා හදවතට...

වෙනසක් කරන්නට නම් නුඹේ දිවි මගට
කිසිදා නොසිතුවෙමි මා එක් මොහොතකට
සෙනෙහස පිරුණු දිවි මග නුඹ හට උරුම
සැමදා විඳින්නට පතනෙමි පිවිතුරුව...

~නෙතුපුල්~

Tuesday, September 1, 2015

බිඳුණු සිතුවිලි...



නුඹ නිසා මා නෙත් අගින් ආ
කඳුළු ගැන නුඹ නොදන්නේ
නුඹ නිසා මා පැතු පැතුමන්
කිසි දිනෙක නෑ දැනෙන්නේ...

අහස ඉල්ලා හඬන දරුවෙක්
වගෙයි මට මා දැනෙන්නේ
බිඳුණු දිවි මග සොයන බවකුයි
මෙදින මා හට සිතෙන්නේ...

සෙනෙහසින් මා සිතින් බැඳුනත්
නොමැත පාරමි පුරන්නේ 
නුඹ මගේ නොව මා නුඹේ නොව
එයයි උරුමය මේ භවේ...

~නෙතුපුල්~

Saturday, August 29, 2015

සාදය...

Image result for party

මීවිතෙන් මත් වූ
මියුරු නාදෙන් පිනවූ
සිනා කැන් පිරවූ
සාදයකි සැම දෙනා රැස්වූ

කිසිදා නොමැති සතුටක් 
කිසිදා නොතිබු සෙනෙහක් 
මවා පාමින් තවත් 
ගෙවා දමනා නිසරු දිනයක්!  

~නෙතුපුල්~

Tuesday, August 25, 2015

බොඳ වූ සිතුවිලි...


කෑගසා නොකීවට 
ඉකි ගසා නොහැඬුවට 
මගේ සිත, මගේ ගත
රිදෙන බව නොපෙනුනිද...

නුඹේ එක් වදනකට
හැඟුම් බර වන මසිත
වේදනා විඳින වග 
නොදැනුනේ ඇයි නුඹට...?

~නෙතුපුල්~

Tuesday, August 4, 2015

නුඹ නොමැති මා දිවිය...


නුඹේ දෙතොලග රැඳුනු මද හස
මගේ සිත අග තනි රකින සඳ
නුඹේ සුසුමක රැඳුනු උණුසුම
මගේ මතකය පාරවයි අද...

නුඹේ රළු අතැඟිලි වලින් නුඹ
මගේ අත ගෙන ගෙවූ ඒ දින
නුඹේ අත්වැල නොමැති අද දින
මගේ දිවියට නොමැත හිරු සඳ...

නුඹේ වදනක පහස ලබනට
මගේ දෙසවන බල කරයි මට
නුඹේ සෙනෙහස නැවත දකිනට
මගේ නෙතු යුග මග බලයි අද...

~නෙතුපුල්~


Monday, July 20, 2015

...

Image result for lovers hands


හිරුට පමණක් උරුම අහසේ
තරු කැළුම් නොපෙනේ...
හිරු සයුරු ඉම සිඹින මොහොතේ
තරු පිපී දිලිසේ...

පිපී දිලිසෙන නුඹේ තරු යුග
මගේ නෙත් මත හෙලන මද හස
බැඳුනු අතැඟිලි රැඳුනු උණුහුම
ගෙන දෙවයි මා සිතට සැනසුම...

නුඹේ සුසුමක වෙලෙන මා ගත
සදා සැනසුම ගෙනෙයි මා හට 
සදා කල් නුඹ සමග රැඳුමට 
කියයි මා සිත කොඳුරමින් මට...

~නෙතුපුල්~

Monday, June 22, 2015

අද අවසන් ගමන් ගිය මගේ ආදරණිය සීයා ගැන මතක...

හිතට කිසිම බරක් නැති කිසි දෙයක් නොතේරෙන පුංචි කාලෙදි, අද වගේ සල්ලි යහමින් නොතිබ්බ නිසා මටත් වඩා පුංචි මගේ නංගි බලාගන්න අම්ම මුළු දවසම දඟලද්දී...මාව ඉස්කෝලෙන් අරන් පන්තියට ගිහින් දැම්මේ, පන්ති ඉවර උනාම මාව ගෙදර එක්කරන් ආවේ මගේ සීයා...පරණ කාලේ විදුහල්පතිවරයෙක් වගේම ගමේ සමිති සමාගම් හැම එකකම වගකීම් දරපු කෙනෙක් විදිහට ඒ කාලේදී අපි සීයාව දැක්කේ බොහොම තද ගතිගුණ තියෙන මිනිහෙක් විදිහට...

අපි ටිකක් ලොකු වෙනකොට...අපේ වටේ ඉන්න යාලුවන්ගේ තාත්තලා කලිසම් කමිස ඇඳගෙන එයාලව එක්කන් එන්න පන්ති ලඟට එනකොට...ආරිය සිංහල ඇඳුමෙන් සැරසුන මගේ සීය මාව ගන්න පන්තිය ලඟට එන එකට මම ඒ තරම් කැමති වුනේ නැහැ...එත්...හොඳ වෙලාවට...ඒ කාලේ අපිට හොඳ නරක හරියට කියල දීල තිබුන නිසා අද අතීතය මතක් කරද්දී පසුතැවෙන වචනයක් මගේ අතින් කියවුනේ නැහැ...

පුංචි කාලෙදි සීය කියන වචනෙකට නිකමටවත් ආපස්සට වචනයක් කියන්න තරන් මම බය වුනත්...ටික ටික ලොකු වෙද්දි...ඉස්කෝලේ පන්තියේ අවුරුද්දෙන් අවුරුද්ද ඉහලට යද්දී...ඒ ගති ගුණ පොඩ්ඩක් වෙනස් වෙන්න ගත්තා...කවමදාවකවත් එක වචනයකින්වත් මම සීයට බැනල නැති වුනාට...දින වකවානු මතකත් නැති වුනාට...අදටත් පසුතැවෙන තරමට මට මතකයි එක දවසක් මම සීය කිව්ව දේකට එකට එක කිව්වා...හැබැයි ඒ වෙලාවේදීම මම ඒ ගැන පසුතවුන වගේම...ඊට පස්සේ ඒ වගේ දෙයක් මගේ අතින් නොවෙන්න මම වග බලාගත්තා...

අපි ඉගෙනගෙන විභාග පාස් කරන් විශ්ව විද්‍යාලේ යද්දී...ආච්චි අම්ම වගේ අපිව බදාගෙන ඉඹල අපිට සුබ පැතුවේ නැති වුනාට...ඒ ගැන හිත යටින් ආඩම්බර වුනා කියල මම හිතනවා...කාලෙකට පස්සේ මහගෙදර කොල්ලෝ කෙල්ලෝ ටික මාමල නැන්දලා ඔක්කොම එක්ක එකතු වෙලා ගමටම ඇහෙන්න ඕප දූප කියෝ කියෝ හිනාවෙද්දී...හැමදාමත් අපි වයස් බේදයක් නැතුව බැනුම් අහනවා...ඔය සිරික්කිය නවත්තන්නේ නැද්ද ළමයිනේ මට කනක් ඇහිලා ඉන්න නෑනේ කියල...

ඔය හැම දෙයක්ම අස්සේ තිබුනේ අපි ගැන තිබුන ආදරේ කියල මම දන්නවා...මම කසාද බැඳලා ගෙදරින් පිට වෙලා යනකොට...මගේ ඔලුව ඉඹල මට සමු දුන්නේ නැති වුනාට...ඇස් වල කඳුළු පිරිලා තියෙන්න ඇති අනිවාර්යයෙන්ම...මොකද...ඔයාලගේ තුන් වෙනි පරම්පරාවේ පළවෙනියා මම නිසා....

හිතපු විදිහට ජීවිතේ හැමදේම නොවෙද්දී...ප්‍රර්ථනා කරපු නැති විදිහට ජීවිත වෙනස් වෙද්දී...හිස් අතින් මට අපහු ගෙදර එන්න වුනාට පස්සේ...ඔයාලගේ හිත කඩෙන නිසා මම ඔයාට බොරු කිව්වා...පුතා එන්නේ කවද්ද කියල මගෙන් හැම වෙලේම අහද්දී...එහෙම බොරු කිව්වේ බොරුවක් කියන්න ඕනි කමක් තිබුන නිසා නෙමෙයි...ඉන්න කාලේ ඔයාල සතුටින් ඉන්න ඕනි නිසයි...ඇත්ත දැනගත්තම ඔයාල මම වෙනුවෙන් දුක් වෙන නිසයි...

අපි නොහිතුව තරන් ඉක්මනට සීයා දුර්වල වුනා...අපි හැමෝම කරන්න පුළුවන් හැම දේම කරත් අන්තිමේදී එයා අපිව දාල ගියා...හිටිය තත්වේ හැටියට තර්කනුකුලව වෙන්න ඕනි දේ ඒක කියල දන්නවා වුනත්...දවස් තුනකට හරි සීය හුස්ම ගන්නකොට මට බලන්න යන්න පුළුවන් වුනත්...මේ වෙලාවේදී මට ඔයා ළඟ ඉන්න බැරි වුන එක ගැන මට දැනෙන්නේ දුකක්...

මට හැම වෙලේම මතක්වෙයි...මම ලංකාව දාලා එන්න කලින් මට කිව්ව දේ...ළමයි පිටරට යන එක ගැන නම් මගේ එච්චර කැමැත්තක් නෑ...

~නෙතුපුල්~



Tuesday, April 14, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා!


ඝණඳුර නිවා හිරු කිරණක් මතු වේවා
සැනසුම විනා දුක් කිසිදා නොම වේවා...
සිතනා පැතුම් එම ලෙසකින් ඉටු වේවා
ලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරේවා...

~නෙතුපුල්~

රහස...



කිසිඳු දින කිසිවෙකුට නොදැනෙන
කිසිම විට කිසිවෙකුත් නොසිතන
අපේ රහසේ සොඳුරු සිතුවම
ඇඳී ඇත තරු සපිරි නෙත් තුල...

කිසි කෙනෙක් නොදකිනා මොහොතක
නුඹේ නෙත් තුල දිලෙන සෙනෙහස
විඳින මා සිත තිබෙන සැනසුම
කිසි විටෙක නොදැනේවි වෙනෙකුට...

~නෙතුපුල්~



Sunday, March 15, 2015

අත්වැලක් නොවුනාට සෙවනැල්ල වූ නුඹට...

Image result for shadow following a girl

ගතින් දෙදෙනක් වෙමින් සිත් පෙමින් බැඳුනාට 
සිතින් එක තැන් වෙමින් වදන් නොම කිව්වාට 
නෙතින් නෙත පටලමින් පෙමින් ලං නොවුනාට 
සිතින් මා තනි නොකළ සෙවනැල්ල වුනා මට...

~නෙතුපුල්~

Saturday, March 14, 2015

හිස් වුනු මගේ සිත...


කාලෙකින් කිසි දෙයක් ලියවුනේ නැති උනාට ජීවිතේ නම් ගොඩක් වෙනස්කම් වෙන කාලයකුයි මම ගත කරමින් ඉන්නේ...ලියන්න දෙයක් හිතට එන්නෙම නැති තරම්...හිත මේ තරම් හිස් වෙලා තියෙන්නේ පහු ගිය කාලෙදි මම මගේ ජීවිතය ගැනම ගත්තු තීරණ ගැන මට අපැහැදිලි හැඟීමක් දැනෙන නිසා කියල මට දැනෙනවා....

මාව හොඳින් අඳුරන අය වගේම...මගේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු අයත් දන්නවා ඇති මගේ ජීවිතේ ගොඩක් සිදුවීම් වලින් පිරුණු එකක් බව. එත් ඒ කිසි දේකින් මම පසුතැවුනේ නෑ වගේම ජීවිතය නතර වෙන්න දුන්නෙත් නැහැ. මම ගොඩක් දුක් වින්ද බව ඇත්ත. එත් කවදාවත් මම ගත්තු තීරණ ගැන පසුතැවුනේ නැහැ...එත් ගිය මාසෙදි මම මගේ වගේම මගේ පවුලේ අය ගැනත් හිතල ගත්තු මේ තීරණේ හරිද වැරදිද කියල මම තාමවත් දන්නෙ නෑ...

දශක තුනක් වුනු මගේ ජීවිතේදි මම හරි හම්බ කරපු හැම දෙයක්ම ලංකාවේ තියල මම මගේ පවුලේ අයට යහපතක් කරන්න පිට රටකට ආවත්...මට ඒ දේවල් කරගන්න පුළුවන් වෙයි ද කියල මම දන්නෙ නැහැ...කොච්චර අමාරුවෙන් උනත්... මට ආදරය කරන...මම ආදරය කරන ඒ අය එක්ක ඉන්න තිබුනනම් මිට වඩා මගේ හිත නිදහස් වෙන්න තිබුනදත් කියල මට දැන් හිතෙනවා...වැරදෙන්න තීරණ නොගත්තු මට මෙතෙන්දි වැරදුනාද කියලත් මට දැන් හිතෙනවා...



~නෙතුපුල්~


Wednesday, January 14, 2015

නින්දා...ප්‍රශංසා...


පාප් වහන්සේ ලංකාවට සැපත් වෙලා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සලස්වන්න කොළඹ විවිධ ස්ථාන වල මාර්ග වසා දැමුනා. ඒ සියලු දේවල් අතරෙදි අපිත් වෙනද වගේම අපේ රාජකාරි කටයුතු වලට ඇවිත්, සුපුරුදු වෙලාවට නිවෙස් බලා යන්න සුදානම් වුනා. සුපුරුදු මාර්ගයේ 138 බසයකට නැගුනු මම හැමදාමත් තියෙන මාර්ග තදබදය දිහා බලන් හිටියා...වෙනද හිමින් සැරේවත් ඉදිරියට ඇදෙන වාහන ඊයේ එකම තැන තිබුනේ පාර ඉදිරියෙන් වසා දැමුණු නිසා බව තේරුම් ගිය නිසා පොඩි නින්දක් දාන්න හිතාගෙන මම ඇස් පියාගත්තා...

බොහොමත්ම හිමින් ඉදිරියට ඇදුනු බස් රිය එක පාරටම වේගයෙන් යන්න පටන් ගත්ත බව මට දැනුනු නිසා මම පොඩ්ඩක් වටපිට බැලුවා. හිතට සතුටක් දැනුනේ නියමිත මාර්ගයේ එක තැන ඉන්නේ නැතුව බස් රියදුරු අතුරු මාර්ගයකට හරවලා යන බව තේරුම් ගිය නිසයි. හැම තැනින්ම ඇහුනේ බස් රියදුරුට කරපු ප්‍රශංසා. මොකද...හැමෝටම ඕනි වුනේ ඉක්මනින් ගෙවල් වලට යන්නයි.

අවාසනාවට...ඒ සතුට තිබුනේ බොහොම ටික වෙලාවයි. දොර දෙකේ ලේලන්ඩ් බස් එකක් වුනු නිසා රියදුරු මහත්තය යන්න හිතන් හිටිය පටු පාරට ඔහුට බස් රථය හරව ගන්න බැරි උනා...මොකද...වෙනද නොතිබ්බ පරණ ලොරියක් ඒ පටු පාරේ හන්දියේම නවත්තල තිබුන නිසා...ඒ වෙලාවේ ඇති වෙච්ච කලබලය නිසා ඒ අවටත් පොඩි මාර්ග තදබදයක් ඇති වුනා. මැදිවියේ පුද්ගලයෙක් වුනු බස් රථයේ රියදුරු මහතාට කොන්දොස්තර මහතාගේ ඇනුම් බැණුම් වගේම බස් රියේ හිටපු අනික් මගීන්ගේත් රළු වචන අසමින් බස් රිය අනතුරකින් තොරව නිවැරදි මාර්ගයට ගන්න පුදුම වෙහෙසක් ගන්න සිද්ධ වුනා.

විනාඩි කිහිපයකට උඩදි බස් රියේ හිටපු සියලු දෙනාගේ පහසුව වෙනුවෙන් තදබදය වළක්වාගෙන නියමිත ගමනාන්තය දක්වා ඉක්මනින් යන්න හිතාගෙන ඒ බස් රියදුරු මහතා ගත්තු තීරණය ඔහුගේම අවාසනාවට හේතු වුනා...බස් රථයේ හිටපු හතළිහක් පමණ වූ මගීන්ගේ කටින් හොඳ වෙනුවට රළු වචන පිට වෙන්න ගත වුනේ බොහොම පුංචි කාලයයි. 

මේ සිද්ධිය තවත් දරුණු වුනේ හිතන් හිටිය මාර්ගයේ යන්න බැරි වුනු රියදුරු මහතාට ඊළඟට මුණ දෙන්න වුනු සිද්ධිය නිසයි. බස් රිය ඇවිත් තිබුනේ එක් දිශාවකට විතරක් ගමන් කරන ප්‍රධාන මාර්ගයකට. ඒ නිසා ඔහුට යා යුතු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බස් රිය ගමන් කරවන්න සිද්ධ වුනා. ටික වෙලාවකට කලින් රළු වදන් කියපු බස් මගීන්ට රියදුරු මහතාට උසුළු විසුළු කරන්න මේක හොඳ අවස්ථාවක් වුනා. 

මිනිස්සු වෙනස් වෙන්න ගත වෙන්නේ කොයි තරන් පුංචි කාලයයිද? මීට විනාඩි ගානකට කලින් බොහොමත් පැසසුම් ලබපු ඒ රියදුරු මහතාට පරුෂ වදනින් බනින්නත්, ඊළඟට උසුළු විසුළු කරන්නත් ඔවුන්ට ගියේ විනාඩි කිහිපයක පුංචි කාලයක් විතරයි...

හැම මිනිහම හැම වෙලේම ගන්න තීරණ හරියන්නේ නැහැ. එක ඔබටත් මටත් පොදු දෙයක්. එහෙම වුනා කියල වැරදුනු මිනිහට බනින එක බොහොමත්ම නරක දෙයක්. හොඳ චේතනාවකින් අපි හැමෝටම හොඳක් කරන්න ගිය ඒ මනුස්සයට කොයි තරන් හිතට වේදනාවක් වෙන්න ඇත්ද? අනික...හරි වැරදි කියන්නේ බොහොම සාපේක්ෂ දෙයක්. එතන ඒ තදබදේ එක තැන දාඩිය පෙරාගෙන හිටියනං සමහර විට මේ මිනිස්සුම රියදුරු මහත්තයට බනින්න තිබුන ඇයි වෙන පාරකින් ගියේ නැත්තේ කියල...

හැමදාම හැම තැනම පෙන්නේ මේ වගේ අසාධාරනකම්...මෙහෙම දේවල් අහන්න දකින්න ලැබෙන කාලෙක අපිට ජීවත් වෙන්න වුනේ අපේ අවසනවකටද මන්දා....

~නෙතුපුල්~


Saturday, January 10, 2015

rural middle-class Sinhalese idiots!


ජනාධිපත්වරණ ප්‍රතිපල අහල හිත කලකිරිලා බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉන්න අතරේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක් මම දැක්ක. හිතට බොහොමත්ම අමාරු උනේ කටමැත දොඩන්නේ නැතුව, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහින්ද මහත්තයව දිනවන්න තමන්ගේ අහිංසක චන්දය දීපු කොළඹින් පිට පළාත් වල ඉන්න සිංහලයව හඳුන්වන්න යොදපු යෙදුමටයි. විරුද්ධ මත මට ඉවසන්න පුළුවන්. නමුත්, මේ අහිංසක මිනිස්සුන්ට rural middle-class Sinhalese idiots කියල කියනවටනම් මම බොහොමත්ම විරුද්ධයි.

මම කියවපු ඒ ලිපිය මෙතනින් බලන්න:
https://lefroy.wordpress.com/2015/01/09/feeling-free/

ගම් වල ඉන්න මධ්‍යම පන්තික මිනිස්සු මෝඩයින්ද? සිරස මාධ්‍ය ජාලයෙන් ප්‍රකාශය වෙන දේ විතරයිද හරි? එතකොට රුපවාහිනී, අයි.ටී.එන් එකෙන් එදා මෙදා තුර කිසි ඇත්තක් කියල නැද්ද? ඇයි මෙහෙම අන්තවාදී ප්‍රකාශ කරන්නේ? 

මේ ලිපිය ලියපු පුද්ගලයා කොළඹ 7 ඉපදුනු කෙනෙක් වෙන්න ඇති, උසස් යයි සම්මත පන්තියෙත් වෙන්න ඇති...සිංහලත් නොවෙන්න ඇති සමහර විට...හැම කෙනාටම අදහස් ප්‍රකාශ කිරීමට සමාන අයිතියක් තිබ්බට ඔය ලිව්ව මහත්තය හෝ නෝනා (මම දන්නෙ නැහැ ඔබ කවුරුන්ද කියල) මිට වඩා සංයමයකින් ඒ මිනිස්සු ගැන කතා කරානම් බොහොම වටිනවා...

ඔබ නොදන්නවා වෙන්න ඇති...ඔය rural middle-class Sinhalese idiots ල තමයි මේ රටේ ජීවනාලිය. ඒ මිනිස්සු ඔබ තරම් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් ඒ මිනිස්සුන් එකා වන්ව සිංහලයා වෙනුවෙන් චන්දෙ දුන්නා. ඔබ කියන උසස් පන්තියේ මිනිස්සු මහ ලොකු කතා කියමින් රට අරාජික කළා...එහෙම බලද්දී බුද්ධිමතා කවුද? 

ඔය rural middle-class Sinhalese idiots ල තමයි රටට රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා දිනා දුන්න නිදහස නිසා තමයි ඔබතුමා (හෝ ඔබතුමිය) අද මේ කටමැත දොඩවන්න ජීවත් වෙන්නේ...ඒ මිනිස්සුන්ට අවශ්‍ය ගරු කිරීම ලබා දෙන්න. එතකොට ඔබ අඩුම තරමින් සංයමයකින් යුතු පුද්ගලයෙක් විදිහටවත් අපිට පෙනී යාවි.

~නෙතුපුල්~

Friday, January 9, 2015

ජනාධිපතිවරණය සහ සිංහලයාගේ පැරදුම...


කිසිදා නොතිබුනා මේ රට නිදහස්ව 
සැමදා සැමදෙනා බැලුවේ සොලවන්න
අපගේ නිදහසේ සලකුණු කරලන්න 
නුඹ හට හැකි වුනා ලක් මව ජය ගන්න...

කල කී දේ මතක නැත අප හෙළයන්ට
කල ගුණ සැලකුමක් ඕනෑ නෑ රටට
සෙන්කඩගලත් පරදා දැමුවයි නුඹව 
හෙළ පැරදුමයි පෙන්වන්නේ මේ තරම...

නුඹ හෙළ රජෙකි කිසි දින අමතක නොවෙන
හරි සිංහලුන් සැමදාමත් නුඹ සමග
නුඹේ ගුණ වරුණ අප හද තුල ඇත තවම 
නුඹ සැමදා දිනයි අප හදවත් අතර...

හිමියන් සෝම පැවසු සියලුම දේම
අද සැබවින්ම පෙන්වන්නේ අප සැමට 
හෙළ රජ කෙනෙක් පත් කෙරුමට ලක් මවට 
කිසි දින නොලැබේවි නැවතත් අප සැමට...

~නෙතුපුල්~

Friday, January 2, 2015

මා කලොත් හරි! නුඹ කලොත් එය වැරදි...


මේ කාලේ තරන් මිනිස්සු අනික් අයට මෙත් වඩන කාලයක් බුදු හාමුදුරුවන්ගේ දවසේදිවත් තිබුනද කියල මටනං ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා...පන්සිල් පද පහ හරියට පිළිපදින්න නොදන්න අපේ මිනිස්සු වැරදි කරන අයව නිවැරදි කරන්න ඕනි කියල කට පුරා කියන්නේ හරියට තමන් රහත් පල ලබාපු උත්තමයින් කියල හිතාගෙනද මන්දා...තමන්ගේ ජීවිතේ තියෙනකල් තමන්ගේ ගැනිට දස වද දුන්නු මිනිස්සු අද අවනීතිය ගැනත්, යහ පාලනයක් ගැනත් කියවනවා...බලය ඇති නැති හැමෝම තමන් නොහැදී, අනුන් හදන්න පුදුමාකාර උත්සහයක් ගන්නවා...

මේවා දකිද්දී හිතට දැනෙන්නේ වේදනාවක්. තමන්ගේ දේශපාලන මතවාදය මොකක් වුනත්, අපි හැමෝම තේරුම් ගන්න ඕනි අපි වෙන කෙනෙක් විවේචනය කරනවානම් ඊට කලින් තමන් හැදිලා ඉන්න...එහෙම බැරිනම් මේ වගේ පුළුල් දේවල් ගැන කතා කරන්න ගිහින් තමන්වම ප්‍රදර්ශණය කරගන්නේ නැතුව; අඩුම තරමින් තමන් මත යැපෙන අයට ඉටු කරන්න තියෙන යුතුකම් ටික ඉටු කරන්න...

ඒ අතරෙදිම අමතක කරන්න එපා...ඕනිම කෙනෙක්ගෙන් සිද්ද වෙච්ච හොඳක් තියෙනවනම් ඒක ගැන හොඳ වචනයක් කියන්න ඔය හැටි දෙපාරක් හිතන්න එපා. තමන්ගේ හිතට අවංක වෙන්න...එතකොට ඇත්ත ඇති හැටියෙන් පේන්න ගනීවි. 

කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ...වෙන කෙනෙකුට බනින්න කලින්...යහ පාලනයක් කියල කෑ ගහන්න කලින්...තම තමන්ගේ තියෙන වැරදි හදාගන්න...තමන් බොරු කියන ගමන් අනුන් බොරු කියන එක නවත්තන්න හදන එකෙන් ඇති වැඩක් නැහැ...තමන් හොරකම්, මැරකම් කරන ගමන් අනුන්ගේ දේවල් නවත්තන්න බැහැ...

මුලින් තමන් හැදෙමු....ඊට පස්සේ අනුන් හදන්න බලන්න...

~නෙතුපුල්~


Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා...


නව පැතුමන් සදා ඉහලින් ඉටුවන්න
නව හැඟුමකින් සිත් මල සනසා ගන්න
නව වසරකට සුබ ආසිරි ගෙන එන්න
නව පදවැලක් ගොතනෙමි හිමිදිරියෙන්ම...

~නෙතුපුල්~