Monday, September 16, 2013

හරි - වැරදි


මේ ලෝකේ මහ පුදුමාකාර මිනිස්සුන්ගෙන් පිරිලා. උපරිමයෙන්ම ආදරේ කරලා ඒ ආදරෙන්ම ඇති වෙනකල් හිත රිද්දගෙන...ඒ වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක වෙහෙසෙනක් අඬලා...ජීවිතේම එපා කරගෙන...වද විඳපු අය ඉන්නේ මම විතරක් නෙමෙයි. තමන්ට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන එක වැරදිද? ඒ වගේම අනික් පැත්තෙන් බැලුවොත්...තමන්ට ආදරය කරන කෙනාට තමන් ආදරය කරන්නම ඕනිද? කොයිකද හරි? කොයිකද වැරදි?

ඔන්න ඔහොම හිත හිත ඊයේ හවස ගම්සබා හන්දියේ color lights ළඟ වාහනේ නවත්තගෙන හිටිය විනාඩියක් දෙකක් අතරේ දකින්න ලැබුණු සිද්දියකුයි මේ පොස්ට් එක ලියන්න මට නිමිත්තක් උනේ. ඔතනින් ඔබ එක වතාවක් වත් ගිහින් තියෙනවනන් එතන ඉන්න යාචකයින් ඔබට අරුමයක් වෙන්නෙ නැහැ. කොළ එලිය දල්වෙනකල් මේ හන්දියේ වහනය නවත්තල තියන්න වෙනවමයි කොයි පාරෙන් ආවත්...ඒ වෙලාවට වාහනේ වීදුරුවට තට්ටු කරලා කාසි ඉල්ලන යාචකයින් 6-7 දෙනෙක්වත් එතන ස්ථිරවම ඉන්නවා. හැමදාමත් ඉන්නේ එකම කට්ටිය. ඒ නිසා ඔතනින් නිතර යන එන මම වගේ අය ඇත්තම කියනවනං සල්ලි දෙන්නේ නැහැ එයාලට...

වෙනද හැමදාමත් දකින සුපුරුදු වටපිටාව දිහා බල බල රතු එලිය නිමිල කොළ එලිය වැටෙනකල් මම ඊයේ බලන් හිටියේ මගේ අහිමි ආදරය ගැන හිත හිත. ටක් ටක් ගල වීදුරුවට තට්ටු කරන සුපුරුදු හඬ...ඉවසිල්ලක් නැතුව පිටිපස්සේ ඉඳන් හෝන් ගහන 117 බස් එක...තව කවුද මගේ දිහා බලන්නේ කියල හිත යටින් හිත හිත අමුතු ලතාවකට අඩි උස පාවහන් එක්ක කැඩිච්ච තාර පාරේ හරඹ කරන ඒ ලාබාල යුවතිය...මෙලෝ සිහියක් නැතුව ජංගම දුරකථනය කනේ තියන් එක සීරුවට කතා කර කර, කාණුවට වැටෙන්නේ නැතුව, වාහන පෝලිමේ නොගැවී තමන්ගේ ගමන ඉක්මන් ගමනින් යන තරුණයා...

මේ ඔක්කොම අතරේ එක්තරා පුද්ගලයෙක්...තැනක් දෙකක් ඉරුණු කිලිටි සරමක් ඇඳගෙන...ඒ වගේම අපිරිසිදු කමිසය...නොපිරු හිසකෙස්...ඔහුත් ඔහුගේ ගමන යනවා...පාර දිගේ ඇවිදගෙන. දකුණු අතේ පරිස්සමට අල්ලන් හිටිය දේ...ඇඳුම වගේම අපිරිසිදු පත්තර පිටුවකින් ඔතල තිබුනත් මට ගල් බාගේ බෝතලේ හොඳට අඳුරගන්න පුළුවන් වුනා...දුටුව පමණින්ම මට ඔහු ගැන ඇති උනේ අප්‍රසන්න සිතුවිල්ලක්...මේ මිනිහට ගල් බාගේ ගන්න පුළුවන්...මිනිහෙක් වෙන්නයි බැරි කියල...

මම ඒ සිතුවිල්ලෙන් සිත අප්‍රසන්න කරගනිද්දී ඔහු ඔහුගේ ගමන ගියා...කවුරු ඔහු දිහා බලයිද...කවුරු මොනවා හිතයිද ඒ කිසි දෙයක් ගානක් නැතුව...ඒ අප්‍රසන්න සිතුවිල්ල ඉවර වෙන්නත් කලින් කොළ එලිය දැල්වුනා...117 බස් එකේ හෝන් එක ආපහු එක දිගට...වාහනේ ඉදිරියට ගන්න කලින් මම දැකපු ඒ දසුන මගේ හිත හොඳටම සසල කලා...මගේ අප්‍රසන්න සිතුවිල්ලට ලක් වුන ඒ ඔහු...තමන්ගේ අතේ මිට මොලොගෙන හිටිය බෝතලේ අනික් අතට අරගන්න ගමන්...ඒ අතේ ඉතුරු වෙලා තිබ්බ රුපියල් පහ එතන හිටිය යාචකයට දීල තමන්ගේ ගමන යන්න ගියා....වාහනේ වේගය ඔහුත් මාත් අතර දුර වැඩි කලා...

පුංචි කාලේ ඉඳන්ම අපිට ඉගැන්නුවේ හරි දේවල් කරන්න, වැරදි දේවල් කරන්න එපා කියලයි. ඒත් ඉතින් දැන් බලද්දී මේ හරි වැරැද්ද අපිට හරියට තේරෙනවද?...ගල් බාගේ ගත්තු ඔහු හරිද? සල්ලි හම්බ කරන්න පුළුවන් කියල පේන යාචකයන්ට සල්ලි නොදුන්න මම වැරදිද? ගල් බාගේ අරන් ඉතුරු උන රුපියල් පහ ඒ යාචකයට දුන්න ඔහු හරිද? ඔහු විවාහකයෙක්නන්...තමුසේ අදත් හම්බ කරපු සල්ලි වලින් බොන්න වියදම් කරා කියල බනින ඒ කාන්තාව වැරදිද? 

එතකොට අපි මෙච්චර කාලයක් කරලා තියෙන දේවල් හරිද? වැරදිද? අපි එතකොට ඉස්සරහට කරන්න ඕනි මොකද්ද? කොහොමද හරිද වැරදිද කියල අපි තෝරගන්නේ? හරි වැරැද්ද සාපේක්ෂයි නම් අපි මොකකට සාපේක්ෂවද හරි වැරැද්ද තෝරාගන්නේ? ඒත් කෙනෙක්ට සාපේක්ෂව හරි කියන දේ මට වැරදි නං එතකොට මම කරන්න ඕනි මට හරි කියල හිතෙන දේද? අනේ මන්දා.........ඇයි ජීවිතේ මේ තරන් සංකීර්ණ?

~නෙතුපුල්~






2 comments:

  1. api hari waradda thoraganne apita hithena widihata ekata theory ekak thaama loke naha. life eke wena problem nathi unoth ohoma wikaara adahas oluwata ena eka saadharanayi. :-)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ පොස්ට් කියවලා අදහසක් ලියල යන්න හිතුනු ඔබට.
      තියරි එකක් නං නැහැ තමයි...ඒත් සමහර වෙලාවට මේ හරි වැරැද්ද හරිම සංකීර්ණයි කියල ඔයාට හිතිලා නැද්ද කවදාවත්? මොකද අපි හරි කියල කරන්න ගත්තු දේ ගැන සමාජය කතන්දර කියන්න ගත්තම කොයි තරන් අපි අසරණ වෙනවද? අනේ මන්දා...ජීවිතේ වෙන ප්‍රශ්ණ නැතුව නෙමෙයි...ඒත් ඒ එක දවසක විනාඩි 2-3 වගේ කාලයක් ඇතුලෙදි මගේ හිතට ආව අදහසයි මම ලියල තිබ්බේ :)

      Delete