Monday, December 29, 2014

එදා, අද සහ හෙට...



යහපත් කාලයක් උදා වුනාම...හිතට කරදරයක් වැඩිය නැති උනාම...මිනිස්සු තමන්ගේම අතීතය වගේම ඒ අතීතයෙන් වර්තමානයට එන්න විඳපු දහසකුත් කරදර දුක් වේදනා අමතක කරලා දාන බව මේ දවස් වල ඇහෙන දකින කතා බහින් හොඳට පැහැදිලි වෙනවා...ඒවා ඇහෙද්දී හිතට දුකයි...ඇයි මේ මිනිස්සුන්ට මේ කෙටි කාලීන අතීතය අමතක වෙන්නේ?

මිනිස්සු වැඩිපුර කතා කරාට තමන්ගේ මතය ගැන විශ්වාසය තියන්න...කවුරුත් ආවේගයෙන් කතා කරපු පලියට, හිතට එකඟව තමන්ට දැනෙන දේ අමතක කරන්න එපා...ඒක හරියට පොඩි කාලේ ඉඳන් දහ දුක් විඳන් තමන්ව උස්මහත් කරපු තමන්ගේ දෙමව්පියන් දෙන්නව තමන්ට හරි ගිය දවසක අමතක කරල දානවා වගේ දෙයක් කියලයි මමනං විශ්වාස කරන්නේ...

මව් පිය දෙදෙන දෙමගක ගිය ඒ දවස 
සැම දින වෙඩි සද්ද ඇසුනා ඒ දවස 
කිසි නිදහසක් නොතිබුන ඒ කල දවස
අමතක කල නොහැක මටනම් කිසි දවස 

විඳිමින් නිදහසේ සුව අප සැම දවස
දකිමින් දියුණු වන රට දවසින් දවස 
කරමින් මතක නැති අප විඳි දුක් ගැහැට 
නොහැරෙන් වැරදි මගකට නුඹ හෙට දවස...

~නෙතුපුල්~

Monday, December 8, 2014

එදා සහ අද...


සීත අහසෙන් වැටුණු කඳුලැලි
නීල දිය දහරක් වුනා 
පෑවූ අවු රැස් එකට එක කර 
සුසිඳු හසරැල්ලක් කළා...

හීන දහසක් මකා දමමින් 
ජීවිතය ජීවත් කළා
වාරු නැතිවූ ජීවිතය අද 
සොඳුරු බිම් මඩලක් වෙලා...

~නෙතුපුල්~

Tuesday, November 4, 2014

නුඹ ගැන මතක...



සිඟිති සියුමැලි නුඹේ අත ගෙන
පාසලට නුඹ රැගෙන ගිය කල...
ළපටි නෙත් යුග කඳුළු බොඳ කර
බලා සිටියා මගේ අත ගෙන...

පළමු පාඩම මගේ මග හැර
නුඹේ නෙතගේ කඳුළු සිප ගෙන 
වැළඳ ගත් කල මා නුඹේ හිස
සැනසුනා නුඹ නගා මද හස...

කොස් ඔටුනු ලා රජ කරා නුඹ 
මල් දමින් මා හැඩ කලා නුඹ
කෙලි කවට සිනහා මැදින් අප 
ගෙවූ කල් මතකයි සදා මට...

ගෙවී ගියමුත් බොහෝ කල් අද
සිතේ දරමින් නුඹේ සෙනෙහස
සදා නොවෙනස් වේ මගේ සිත 
නැගණියයි නුඹ මගේ සැම දින... 

~නෙතුපුල්~

Sunday, October 26, 2014

දිවියේ අරුත සොයමින් වෙහෙසෙන අප...



සොඳුරු ගී වැල් මිහිරි වන්නට
පද බඳින නුඹ සොඳුරුමයි 
අඳුරු තිර පට ඉරා ලන්නට
වෙර දරන නුඹ පියකරුයි...

වේදනා දහසකින් පිරවූ
පෙම් කඳුළු උල්පතක් වැනි වූ 
අපේ පෙම් දම් මලින් පරවූ 
අතීතය සිහිනයක් වැනි වූ... 

පැටලෙනා දිවියකින් නිමවූ
අපේ ප්‍රේමය සදා බොඳවූ 
නෙතු සිනා කැන් කඩා බිඳ ලූ  
අපේ මං පෙත් වසා රිදවූ... 

ඒ කඳුළු රැළි පිසදලන්නට 
වැසුණු මං පෙත් හෙළි කරන්නට
සිහිනයන් හැර දමා යන්නට
මං ඇරේවා නුඹට මට හෙට...

~නෙතුපුල්~


Friday, October 24, 2014

නොපැවසුනු ප්‍රේමය...


දස වසකටත් පෙර දිනයක මුණ ගැසුන
නුඹ අද තවම මා වෙනුවෙන් සිත තවන
නුඹ සිත පතුලෙ මා වෙනුවෙන් ඇති හිඩැස
පුරවනු නොහැකි වෙයි මා හට කිසි දවස...

~නෙතුපුල්~

ජීවිතය...



කඳුළැලි වැටී ඇති ගංගා දිය තරම
දුක් සෝ සුසුම් ඇති සැඩ සුළගක් තරම
හද ඉරි තැලී ඇති රළු කතරක් තරම
දිවි මග අතරමන් වී දෝ මේ තරම...

~නෙතුපුල්~

මගේ සදාදර මිතුරියට...



වැසි වසින විට හිරු කිරණ නුඹ
හිරු දරුණු විට වැටෙන පොද නුඹ 
හිස් අහස යට දිලෙන තරු නුඹ 
නිල් දියක් වෙයි සදා මට නුඹ

රළු වළා පරදවා සැම විට 
සිත් තොසින් පුරවලා එම විට 
මල් දමින් සරසනා දිවියම 
නුඹ මගේ සොයුරියයි සැම දින...

~නෙතුපුල්~

Thursday, October 23, 2014

සඳ දියවී සුනිල දියේ...



සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ මට මග නොහැරේ.
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ..

මල් පිබිදී හදගිස්සේ
කොඳ සිතුවිලි ලිහී වැටේ
පියුම් පිපී සිතුම් විලේ
මුවරද මුසු පවන් රොදේ
සුවඳ දැනේ ආදරේ...

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ..

වන වදුලේ තුරු අතරේ
කඳු අතරේ නිම්න දිගේ
ගං තීරේ රැළි අතරේ
සිත් පත්ළේ නිසන්සලේ..
සැගව තිබේ ආදරේ..

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ නුඹේ මග නොහැරේ
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ...

ගායනය : නෙත්මි දසනායක & උමේෂ් දිසානායක
පද රචනය : වර්ෂා රණසිංහ & නජාත් අක්රම්
තනුව : සුසිත චාමිකර
සංගීතය : යහජ කල්හාර

Tuesday, August 26, 2014

ආදරණීය අම්මේ...


කිරි කැටි බිලිඳු වයසෙදි මා රැක ගත්තා
කිරි බිඳු පොවා මා ඇති දැඩි කරගත්තා 
කවි ගී කියා මා නිදි කරවා ගත්තා
හැකි හැම දේම මා හට දී සිප ගත්තා...

නුඹ පෙව් කිරි වලට සැමදා ණයගැතිය 
නුඹ දුන් සෙනෙහසට කවි ලීවට මදිය
එනමුත් මා දිවිය හිමි නම් මා හටය 
වෙනසක් කිරීමට නම් මා හට නොහැක...

~නෙතුපුල්~


Friday, January 10, 2014

එදවස...


ගලා එයි කළුවර
මැකී යයි හිරු සයුරු දිය මත..
බොඳව යයි දසුනද
හිස්ව යයි මී බඳුන් එකිනෙක...

වදන් රැල් මතුවී
සිතෙහි කුසුමන් පිබිදී
සිනා කැන් ඉතිරී
කලා පැතුමන් නුඹත් එක්වී...

පැතු ඒ පැතුමන්
සැබෑ කරනට මතු සදාකල්
වෙහෙසුනත් මා සැමකල්
නොසිටියා නුඹ මගේ ලඟ නම්

~නෙතුපුල්~

Friday, January 3, 2014

අතීතාවර්ජනය...


සලමින් සෝ සුසුම්
දරමින් මහද තනිකම්
හෙලමින් කඳුළු උණුහුම්
මග බලා සිටියා... එනකම්...

නොදුටු ඒ කඳුළැලි
නොඇසුනා කිසිදාක...ඒ ඉකි
නොබැලුවා ඔහු නිති 
මුලා වූ කල ඇගේ දිවියෙහි...

හෙලු කල කඳුළැල්
නොමැති වූ කල හසරැල් 
නොලද ඒ පෙම් මල්
බලා හිඳිනේ කිමද...තව කල්?

~නෙතුපුල්~

Wednesday, January 1, 2014

සුභ නව වසරක් වේවා!


පතනා සියලු පැතුමන් ඔබෙ ඉටු වේවා
සිතනා සියලු දේ එම ලෙස සිදු වේවා 
කරනා සියලු දේ හට ජය අත් වේවා
ලබනා නව වසර සුබ වසරක් වේවා...

~නෙතුපුල්~