Wednesday, May 15, 2013

සිතුවිලි අංක තුන


අවුරුදු දෙකක් යන්නත් කලින් ඔයා මෙහෙම වෙනස් උනේ මගේ වැරද්දක් නිසාමද? මගේ හිත කැඩිල බිඳිලා ගිහින් තියෙන්නෙත් එතකොට මගේම වැරැද්දෙන් ද? වැරැද්ද මගේ නම් ඇයි මමම මෙහෙම විඳවන්නේ? මට මේවට උත්තර නැහැ...උත්තර හොයාගන්න ශක්තියකුත් නැහැ...ඒ වෙනුවෙන් මට උදව් කරන්න කව්රුවත් ඇත්තෙත් නැහැ....

මම නොදැන හිටියට...නොදැන හිටියටත් වඩා මම විශ්වාස කලේ නැතුවට...මීට අවුරුද්දකටත් කලින් ඉඳන් මම මෙහෙම තනිවෙන බව මට ගොඩක් දෙනෙක් කිව්වා...ඔයා එක්ක ඉන්න ඉඳහිට ලැබුනු පැය දෙක තුනේදි මම ඔයාට ඒවා කිව්වා...ඒත් ඔයා මගේ හිත හැදුවා ඒ දවස් වල...මම ඔයාව කවදාවත් තනි කරන්නේ නැහැ කියල...කසාද බැඳලා යද්දිවත් කිසි කෙනෙක් මත මගේ ජීවිතේ තීරණය කරන්න නොදීපු මම...ඒ වෙද්දී අවුරුද්දක් විතර කාලයක් දැනගෙන හිටිය ඔයාව විශ්වාස කරලා මගේ ජීවිතේ ඔයාගෙ කකුල් දෙක ළඟ තිබ්බා...හීන ගොඩක් හිතේ පුරෝගෙන...අපි ඉස්සර කතා කලා වගේ...අපි ඉස්සර ඇත්තටම කළා වගේ...අපි දෙන්නා රටවල් දෙකක ඉන්නැද්දීත් එකට උයල කාල එකට නිදාගත්තු ඒ කාලේ ඔයාට මතකද...?  ඒ ජීවිතයයි මට ඕනි උනේ...අඩුමගානේ අපි දෙන්න වයසට ගිහින් හරි ඒ ජීවිතේ විඳින්න මට වාසනාව තියේවි කියල මම විශ්වාස කලා...ඔයා දන්නවද ඒක?

ඒත් දැන්...අපි ගොඩක් දුරස් වෙලා කියල ඔයාටත් තේරෙනවා නේද? එතකොට අපිට ඒ ජීවිතේ කවදාවත් ලැබෙන්නෙ නැද්ද? ඉස්සර පැය ගණන් කතා කරපු අපි...පැය 10-12 උනත් කතා කරකර ඉන්න පලුවන් උන අපි...මට දුකයි ගොඩක්...ඒත් ඉස්සර වගේ මගේ හිත හදන්න පුළුවන් තත්ත්වෙක ඔයා අද නැහැ...ඔයා ඉන්නෙත් දුකින් කියල මම විශ්වාස කරනවා...අපිට මේ ප්‍රශ්ණ විසදගන්න බැරිද? ඔයා මාව අතාරින්නේ නැහැ නේද? මට දීපු පොරොන්දු ඔයා ඉෂ්ට කරනව නේද? මම තාමත් ආදරේ කරනවා ඉස්සර වගේම ඔයාට...ඒත් ඒ නිසයි මම දුකින් ඉන්නේ....

~නෙතුපුල්~

2 comments:

  1. බ්ලොග් අවකාශයේ surf කරන කොට අහම්බෙන් හමුවූ නෙතුපුල් වෙත.
    ඉතාම සංවේදී අයුරින් ලියූ ලිපියක්. අද මෙම ලිපිය මම කියවන විට ඔබ හා පෙම්වතාගේ සම්බන්ධය කුමක් දැයි මම නොදනිමි. එහෙත්, මෙම ලිපිය ලියු දින/ලිපිය ලිවීමට සිත් වූ දින, ඔබට ඔහු අහිමි වුන බව ඒකාන්ත බව මට හැගේ. ඔබ හා ඔහු අතර ඇති සම්බන්ධයෙ ඉරි තැලීම් මෙමගින් ගම්‍ය වේ. එහෙත් ඔබ ඔබගේ යටි සිතට එය පිලිගනුමට ඉඩ නොදේ. වියපත් වූ පසු හෝ එකට ඉඳීමට පතන්නේ එහෙයිනි. මානුෂික හැගීම් එසේය. එය දෝලනය වෙයි. ඔරලෝසුවක wine ඉවරවී යන විට බට්ටා ගේ පැද්දීම මෙනි. ක්‍රමක්‍රමයෙන් කාලය ගත වීමත් සමග දෝලනය නැවතී සිතුවිලි තිර වෙයි. මෙයින් තෙමසකට පෙර සිදු වූ මෙම සිදු වීම හේතුවෙන් කැළඹුන ඔබ ගේ සිත, මේ වන විට ස්ථාවර භවයක ට පැමිණ ඇති බව මම සිතමි. ඔබ ඔහු හා අද දින නැති නම්, මෙය සිතා බලන්න. ඔබ ඔහු හා එක් ව සතුටින් සිටී නම්, දිවියේ ඇති ගැටළු පිලිබඳ මෙතරම් සංවේදී නොවන්න. එමගින් ඔබට ලැබෙන සතුටක් හෝ සැනසීමක් නොමැති බව මගේ සිතුවිල්ලයි. (මෙම නිගමනය ට පැමිණුනේ, ඔබගේ අනෙකුත් පොස්ටයන් ද බැලීමෙනි)

    ReplyDelete
    Replies
    1. @srilankanculture
      කිසිම දවසක බ්ලොග් ලියන්නෙක් වෙන්න නොහිතපු මට මෙහෙම ලියන්න උනේ සමහර විට මම මගේ ජීවිතේ එක සන්ධිස්ථානයකදී ගත්තු තීරණය වැරදි නිසා වෙන්න ඇති. ඒත් මට තාමත් ඒ තීරණේ වැරදි කියල හිතන්න බැරි ඒ ගෙවුන කාලය මගේ ජීවිතේ උපරිම සතුටක් විඳපු කාලය නිසාත් වෙන්න ඇති. සතුට උපරිම උනාට ඒ ගෙවුණු කාලය හරිම පුංචියි, ඒ කියන්නෙ ඒ සතුට හරිම තාවකාලිකයි කියන එක තමයි. මට ඒක තේරුනාට, ඒ වගේම ඉස්සරහටත් මට දුක් විඳින්න වෙනවා කියල තේරුනාට...මට තාමත් එතනින් අයින් වෙලා යන්න ශක්තියක් ලැබිල නැහැ...මම තාමත් මිට මාස තුනකට කලින් හිටිය විදිහමයි...එයත් ඒ වගේමයි...

      මගේ ලිපි කියවලා මම වෙනුවෙන් සටහනක් තියල යන්න තරම් සංවේදී වුනු ඔබට ගොඩක් ස්තුතියි. ඒ උපදෙස මම පිළි නොගත්ත කියල හිතන්න එපා...මම සිය දහස් වාරයක් ස්තුති වෙනවා ඔබට...ඒත් මගේ හිත තාමත් දුර්වලයි...මම දවසින් දවස උත්සාහ කරනවා...මම හිතනවා මේ දෝලනය ඔබ කිවූ පරිදිම නතර වේවි...ඒත් මම දන්නෙ නැහැ කවදද කියල...

      Delete