Friday, January 2, 2015

මා කලොත් හරි! නුඹ කලොත් එය වැරදි...


මේ කාලේ තරන් මිනිස්සු අනික් අයට මෙත් වඩන කාලයක් බුදු හාමුදුරුවන්ගේ දවසේදිවත් තිබුනද කියල මටනං ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා...පන්සිල් පද පහ හරියට පිළිපදින්න නොදන්න අපේ මිනිස්සු වැරදි කරන අයව නිවැරදි කරන්න ඕනි කියල කට පුරා කියන්නේ හරියට තමන් රහත් පල ලබාපු උත්තමයින් කියල හිතාගෙනද මන්දා...තමන්ගේ ජීවිතේ තියෙනකල් තමන්ගේ ගැනිට දස වද දුන්නු මිනිස්සු අද අවනීතිය ගැනත්, යහ පාලනයක් ගැනත් කියවනවා...බලය ඇති නැති හැමෝම තමන් නොහැදී, අනුන් හදන්න පුදුමාකාර උත්සහයක් ගන්නවා...

මේවා දකිද්දී හිතට දැනෙන්නේ වේදනාවක්. තමන්ගේ දේශපාලන මතවාදය මොකක් වුනත්, අපි හැමෝම තේරුම් ගන්න ඕනි අපි වෙන කෙනෙක් විවේචනය කරනවානම් ඊට කලින් තමන් හැදිලා ඉන්න...එහෙම බැරිනම් මේ වගේ පුළුල් දේවල් ගැන කතා කරන්න ගිහින් තමන්වම ප්‍රදර්ශණය කරගන්නේ නැතුව; අඩුම තරමින් තමන් මත යැපෙන අයට ඉටු කරන්න තියෙන යුතුකම් ටික ඉටු කරන්න...

ඒ අතරෙදිම අමතක කරන්න එපා...ඕනිම කෙනෙක්ගෙන් සිද්ද වෙච්ච හොඳක් තියෙනවනම් ඒක ගැන හොඳ වචනයක් කියන්න ඔය හැටි දෙපාරක් හිතන්න එපා. තමන්ගේ හිතට අවංක වෙන්න...එතකොට ඇත්ත ඇති හැටියෙන් පේන්න ගනීවි. 

කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ...වෙන කෙනෙකුට බනින්න කලින්...යහ පාලනයක් කියල කෑ ගහන්න කලින්...තම තමන්ගේ තියෙන වැරදි හදාගන්න...තමන් බොරු කියන ගමන් අනුන් බොරු කියන එක නවත්තන්න හදන එකෙන් ඇති වැඩක් නැහැ...තමන් හොරකම්, මැරකම් කරන ගමන් අනුන්ගේ දේවල් නවත්තන්න බැහැ...

මුලින් තමන් හැදෙමු....ඊට පස්සේ අනුන් හදන්න බලන්න...

~නෙතුපුල්~


Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා...


නව පැතුමන් සදා ඉහලින් ඉටුවන්න
නව හැඟුමකින් සිත් මල සනසා ගන්න
නව වසරකට සුබ ආසිරි ගෙන එන්න
නව පදවැලක් ගොතනෙමි හිමිදිරියෙන්ම...

~නෙතුපුල්~

Monday, December 29, 2014

එදා, අද සහ හෙට...



යහපත් කාලයක් උදා වුනාම...හිතට කරදරයක් වැඩිය නැති උනාම...මිනිස්සු තමන්ගේම අතීතය වගේම ඒ අතීතයෙන් වර්තමානයට එන්න විඳපු දහසකුත් කරදර දුක් වේදනා අමතක කරලා දාන බව මේ දවස් වල ඇහෙන දකින කතා බහින් හොඳට පැහැදිලි වෙනවා...ඒවා ඇහෙද්දී හිතට දුකයි...ඇයි මේ මිනිස්සුන්ට මේ කෙටි කාලීන අතීතය අමතක වෙන්නේ?

මිනිස්සු වැඩිපුර කතා කරාට තමන්ගේ මතය ගැන විශ්වාසය තියන්න...කවුරුත් ආවේගයෙන් කතා කරපු පලියට, හිතට එකඟව තමන්ට දැනෙන දේ අමතක කරන්න එපා...ඒක හරියට පොඩි කාලේ ඉඳන් දහ දුක් විඳන් තමන්ව උස්මහත් කරපු තමන්ගේ දෙමව්පියන් දෙන්නව තමන්ට හරි ගිය දවසක අමතක කරල දානවා වගේ දෙයක් කියලයි මමනං විශ්වාස කරන්නේ...

මව් පිය දෙදෙන දෙමගක ගිය ඒ දවස 
සැම දින වෙඩි සද්ද ඇසුනා ඒ දවස 
කිසි නිදහසක් නොතිබුන ඒ කල දවස
අමතක කල නොහැක මටනම් කිසි දවස 

විඳිමින් නිදහසේ සුව අප සැම දවස
දකිමින් දියුණු වන රට දවසින් දවස 
කරමින් මතක නැති අප විඳි දුක් ගැහැට 
නොහැරෙන් වැරදි මගකට නුඹ හෙට දවස...

~නෙතුපුල්~

Monday, December 8, 2014

එදා සහ අද...


සීත අහසෙන් වැටුණු කඳුලැලි
නීල දිය දහරක් වුනා 
පෑවූ අවු රැස් එකට එක කර 
සුසිඳු හසරැල්ලක් කළා...

හීන දහසක් මකා දමමින් 
ජීවිතය ජීවත් කළා
වාරු නැතිවූ ජීවිතය අද 
සොඳුරු බිම් මඩලක් වෙලා...

~නෙතුපුල්~

Tuesday, November 4, 2014

නුඹ ගැන මතක...



සිඟිති සියුමැලි නුඹේ අත ගෙන
පාසලට නුඹ රැගෙන ගිය කල...
ළපටි නෙත් යුග කඳුළු බොඳ කර
බලා සිටියා මගේ අත ගෙන...

පළමු පාඩම මගේ මග හැර
නුඹේ නෙතගේ කඳුළු සිප ගෙන 
වැළඳ ගත් කල මා නුඹේ හිස
සැනසුනා නුඹ නගා මද හස...

කොස් ඔටුනු ලා රජ කරා නුඹ 
මල් දමින් මා හැඩ කලා නුඹ
කෙලි කවට සිනහා මැදින් අප 
ගෙවූ කල් මතකයි සදා මට...

ගෙවී ගියමුත් බොහෝ කල් අද
සිතේ දරමින් නුඹේ සෙනෙහස
සදා නොවෙනස් වේ මගේ සිත 
නැගණියයි නුඹ මගේ සැම දින... 

~නෙතුපුල්~

Sunday, October 26, 2014

දිවියේ අරුත සොයමින් වෙහෙසෙන අප...



සොඳුරු ගී වැල් මිහිරි වන්නට
පද බඳින නුඹ සොඳුරුමයි 
අඳුරු තිර පට ඉරා ලන්නට
වෙර දරන නුඹ පියකරුයි...

වේදනා දහසකින් පිරවූ
පෙම් කඳුළු උල්පතක් වැනි වූ 
අපේ පෙම් දම් මලින් පරවූ 
අතීතය සිහිනයක් වැනි වූ... 

පැටලෙනා දිවියකින් නිමවූ
අපේ ප්‍රේමය සදා බොඳවූ 
නෙතු සිනා කැන් කඩා බිඳ ලූ  
අපේ මං පෙත් වසා රිදවූ... 

ඒ කඳුළු රැළි පිසදලන්නට 
වැසුණු මං පෙත් හෙළි කරන්නට
සිහිනයන් හැර දමා යන්නට
මං ඇරේවා නුඹට මට හෙට...

~නෙතුපුල්~


Friday, October 24, 2014

නොපැවසුනු ප්‍රේමය...


දස වසකටත් පෙර දිනයක මුණ ගැසුන
නුඹ අද තවම මා වෙනුවෙන් සිත තවන
නුඹ සිත පතුලෙ මා වෙනුවෙන් ඇති හිඩැස
පුරවනු නොහැකි වෙයි මා හට කිසි දවස...

~නෙතුපුල්~