Wednesday, January 14, 2015

නින්දා...ප්‍රශංසා...


පාප් වහන්සේ ලංකාවට සැපත් වෙලා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සලස්වන්න කොළඹ විවිධ ස්ථාන වල මාර්ග වසා දැමුනා. ඒ සියලු දේවල් අතරෙදි අපිත් වෙනද වගේම අපේ රාජකාරි කටයුතු වලට ඇවිත්, සුපුරුදු වෙලාවට නිවෙස් බලා යන්න සුදානම් වුනා. සුපුරුදු මාර්ගයේ 138 බසයකට නැගුනු මම හැමදාමත් තියෙන මාර්ග තදබදය දිහා බලන් හිටියා...වෙනද හිමින් සැරේවත් ඉදිරියට ඇදෙන වාහන ඊයේ එකම තැන තිබුනේ පාර ඉදිරියෙන් වසා දැමුණු නිසා බව තේරුම් ගිය නිසා පොඩි නින්දක් දාන්න හිතාගෙන මම ඇස් පියාගත්තා...

බොහොමත්ම හිමින් ඉදිරියට ඇදුනු බස් රිය එක පාරටම වේගයෙන් යන්න පටන් ගත්ත බව මට දැනුනු නිසා මම පොඩ්ඩක් වටපිට බැලුවා. හිතට සතුටක් දැනුනේ නියමිත මාර්ගයේ එක තැන ඉන්නේ නැතුව බස් රියදුරු අතුරු මාර්ගයකට හරවලා යන බව තේරුම් ගිය නිසයි. හැම තැනින්ම ඇහුනේ බස් රියදුරුට කරපු ප්‍රශංසා. මොකද...හැමෝටම ඕනි වුනේ ඉක්මනින් ගෙවල් වලට යන්නයි.

අවාසනාවට...ඒ සතුට තිබුනේ බොහොම ටික වෙලාවයි. දොර දෙකේ ලේලන්ඩ් බස් එකක් වුනු නිසා රියදුරු මහත්තය යන්න හිතන් හිටිය පටු පාරට ඔහුට බස් රථය හරව ගන්න බැරි උනා...මොකද...වෙනද නොතිබ්බ පරණ ලොරියක් ඒ පටු පාරේ හන්දියේම නවත්තල තිබුන නිසා...ඒ වෙලාවේ ඇති වෙච්ච කලබලය නිසා ඒ අවටත් පොඩි මාර්ග තදබදයක් ඇති වුනා. මැදිවියේ පුද්ගලයෙක් වුනු බස් රථයේ රියදුරු මහතාට කොන්දොස්තර මහතාගේ ඇනුම් බැණුම් වගේම බස් රියේ හිටපු අනික් මගීන්ගේත් රළු වචන අසමින් බස් රිය අනතුරකින් තොරව නිවැරදි මාර්ගයට ගන්න පුදුම වෙහෙසක් ගන්න සිද්ධ වුනා.

විනාඩි කිහිපයකට උඩදි බස් රියේ හිටපු සියලු දෙනාගේ පහසුව වෙනුවෙන් තදබදය වළක්වාගෙන නියමිත ගමනාන්තය දක්වා ඉක්මනින් යන්න හිතාගෙන ඒ බස් රියදුරු මහතා ගත්තු තීරණය ඔහුගේම අවාසනාවට හේතු වුනා...බස් රථයේ හිටපු හතළිහක් පමණ වූ මගීන්ගේ කටින් හොඳ වෙනුවට රළු වචන පිට වෙන්න ගත වුනේ බොහොම පුංචි කාලයයි. 

මේ සිද්ධිය තවත් දරුණු වුනේ හිතන් හිටිය මාර්ගයේ යන්න බැරි වුනු රියදුරු මහතාට ඊළඟට මුණ දෙන්න වුනු සිද්ධිය නිසයි. බස් රිය ඇවිත් තිබුනේ එක් දිශාවකට විතරක් ගමන් කරන ප්‍රධාන මාර්ගයකට. ඒ නිසා ඔහුට යා යුතු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බස් රිය ගමන් කරවන්න සිද්ධ වුනා. ටික වෙලාවකට කලින් රළු වදන් කියපු බස් මගීන්ට රියදුරු මහතාට උසුළු විසුළු කරන්න මේක හොඳ අවස්ථාවක් වුනා. 

මිනිස්සු වෙනස් වෙන්න ගත වෙන්නේ කොයි තරන් පුංචි කාලයයිද? මීට විනාඩි ගානකට කලින් බොහොමත් පැසසුම් ලබපු ඒ රියදුරු මහතාට පරුෂ වදනින් බනින්නත්, ඊළඟට උසුළු විසුළු කරන්නත් ඔවුන්ට ගියේ විනාඩි කිහිපයක පුංචි කාලයක් විතරයි...

හැම මිනිහම හැම වෙලේම ගන්න තීරණ හරියන්නේ නැහැ. එක ඔබටත් මටත් පොදු දෙයක්. එහෙම වුනා කියල වැරදුනු මිනිහට බනින එක බොහොමත්ම නරක දෙයක්. හොඳ චේතනාවකින් අපි හැමෝටම හොඳක් කරන්න ගිය ඒ මනුස්සයට කොයි තරන් හිතට වේදනාවක් වෙන්න ඇත්ද? අනික...හරි වැරදි කියන්නේ බොහොම සාපේක්ෂ දෙයක්. එතන ඒ තදබදේ එක තැන දාඩිය පෙරාගෙන හිටියනං සමහර විට මේ මිනිස්සුම රියදුරු මහත්තයට බනින්න තිබුන ඇයි වෙන පාරකින් ගියේ නැත්තේ කියල...

හැමදාම හැම තැනම පෙන්නේ මේ වගේ අසාධාරනකම්...මෙහෙම දේවල් අහන්න දකින්න ලැබෙන කාලෙක අපිට ජීවත් වෙන්න වුනේ අපේ අවසනවකටද මන්දා....

~නෙතුපුල්~


10 comments:

  1. මේක බස් ඒකක්... ඒකේ ඉන්නේ මිනිස්සු තිහයි හතලිහයි.. අපි හැටයි කියමුකෝ..... බස් රියැදුරු ගත්ත තීරණය වැරදුනොත් අවුල් යන්නේ මේ ටික දෙනාට විතරයි.. පරක්කු වෙන්නේ මේ ටික දෙනාට විතරයි..

    ඒත් රටක නායකයෙක් ගන්න තීන්දු තීරණ වැරදුනොත් පස්සට යන්නේ රටක් ම රටක ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ම ... ඒකත් වන් වේ රෝඩ් ඒකක් තමා... අායෙම හරවං යන්න බැහැ.... වැරදි පාරෙම ඉස්සරහට යන්න වෙනවා.... ඉතින් අපි රටක් ගැන තීරණ ගන්න සුදුසු මිනිහා හරි වෙලාවට තෝරාගන්න වෙනවා... සමහර තැන් වලදි අපිට මිනිස්සුන්ගේ හරි වැරදි බල බල හැදෙන්න කාලේ දෙන්න විදිහක් නැහැ...... මොකද මේක අපෙේ රට...... ඒහෙනම් ඉතින් හිටපු ජනාධිපතිතුමාත් බස් ඩුයිවර් කෙනෙක් වුණානම් මමත් ඡන්දය දෙනවා... පව්නේ අහිංසකයා වැරැද්ද හදාගත්ත දැන් කියලා...... ඒත්................

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාවේ ඇත්තක් නැත්තේ නැහැ. එත් ප්‍රශ්ණය තියෙන්නේ හිටපු කෙනාගෙ වැරදි වලට සාපේක්ෂව එන්න ඉන්න කෙනාව උවමනාවටත් වඩා සුදුවට පෙනීමයි. කාගේ උනත් හරි පාට පෙන්න ටිකක් කල් ගතවෙනවනේ...අනික...බලය නොතිබෙනකොට තියෙන සාධු චර්යාවන් බලය ලබුනමත් ඒ විදිහටම තිබුණු කෙනෙක් ගැන මමනං අහල දැකල නැහැ...

      මිනිස්සු මෙදාපාර ගත්තු තීරණය හරියන්න කියල මම ප්‍රර්ථනා කරනවා...මොකද...රටට හොඳක් වෙනවනම් මගේ චන්දෙ දින්නද පරදුනාද කියන එක එච්චර වැදගත් නැති නිසා. එත්...තාම නම් මට ඒ ගැන ලොකු විශ්වාසයක් ඇති කරන්න අලුත් ආණ්ඩුවට පුළුවන් වෙලා නැහැ...එකම වැරදි මේ පැත්තෙනුත් වෙමින් පවතින බවකුයි මටනම් පේන්නේ...

      Delete
  2. හොඳ කථාව. ලංකාවේ ඉඳීම අනාගතයේ සොරි .com වීමට හේතුවකි. උගත් කමක් , හැකියාවක් , දක්ෂතාවයක් , කොන්දක් තිබෙන සියලු දෙනාම හැකි ක්‍රමයකින් රට පනිති. කිරි රත්කරන විට උඩ එන පෝෂ්‍යදායි කොටස ඉවත් කර බටර් , චීස් වැනි දේ සාදයි. ඉතිරි වෙන්නේ කිරි පාටැති වතුරයි. එලෙසින්ම
    Cream runs away from this hell and what remain in srilanka is scum and that obviously is apparent everywhere.

    ReplyDelete
    Replies
    1. කැම්පස් ඉන්න කාලේදී අපිට තිබ්බ අදහස් දැන් මතක් වෙද්දී හිතට හරිම දුකක් දැනෙනවා. ඉස්කෝලෙන් අයින් වෙලා ටිකෙන් ටික ලෝකය දකිද්දී...අපි පොඩි කාලේ අම්මල තාත්තල කතා බහ කරපු "ලොකු අයගේ බරපතල කතා" අපිටත් තේරුම් යද්දී සහ ඒවාට අපේ අදහසුත් එක් කරන්න තරන් අපි පරිනත වෙද්දී...හිතට දැනුනේ සතුටක්...ඒ එක්කම අපි ඒ ලබාපු යම්කිසි උගත්කම සහ පරිණත කමින් රටට වැඩක් කරන්න මට තිබුනේ පුදුම ආසාවක්...

      එත් ඉතින් කැම්පස් එකෙන් එලියට එන කීයෙන් කීදෙනාටද හරි හමන් පඩියකට රටට සේවයක් කරන්න තරන් අවස්ථාවක් උදාවෙන්නේ...ඒ නිසා බහුතරයක් වගේ අපිත් බහු ජාතික සමාගම් වල රැකියා වලට ගියා...

      ටිකෙන් ටික රැකියාවෙනුත් ඉහලට යද්දී...ජීවිතේ වගකීම් වැඩි වෙද්දී...රුපියල් වලින් හම්බ කරලා මදි කියල දැනෙද්දී...අපි රට අත් ඇරලා වෙන රටකට ගිහින් මුදල් උපයන්න තීරණය කරනවා...

      අනේ මන්දා...ඇත්තටමත්...අපිට අපේ රටේ ඉඳගෙන...අපේ දැනුමට හරියන මුදලක් හොයාගෙන ලස්සනට ජීවත් වෙන්න පුළුවන් උනානං...අපේ ජීවිත මිට වඩා කොයි තරන් සුන්දර වේවිද...

      Delete
  3. නෙතුපුල් ගේ ඔය කතාව දුටුවිට මට මතක් වෙන්නේ මම අත් විඳි සත්‍ය සිදුවීමක්.. මම හැම දාම යන 120 බසයේ එක දවසක් යනකොට ගාමිණී hall ආසන්නයේ වාහන තදබදයක් ලේක් හවුසිය දෙසට.. මාත් හොඳින් දන්නා හඳුනන රියදුරා මොහොතක් බලා සිට සිය මාර්ගය වෙනස් කර මරදාන පැත්තෙන් පිටකොටුව දෙසට වේගයෙන් ඇදෙන්න ගත්තා. මෙය ඔහුගේ බලපත්‍රය පවා අවලංගු විය හැකි තරමේ වරදක්.. ඔහු “අප” වෙනුවෙන් ගත් අවධානම ගැන මගින් සිය සතුට පල කළා. එහෙත් ඔහු ගැන හොඳින් දන්නා මා ඔහු ගේ එම තීරණය බලපොරෝත්තුවෙන් බිය වුනා සහේතුකව.. හේතුව මාත් ඔහුත් දන්නා නීරස සත්‍යයක්.. ඔහු මත්ද්‍රව්‍යයක ට ඇබ්බැහි වුවෙක්.. ඔහු නැවත එය ගැනීමට තම කාල ගණනය සකසා තිබෙනුයේ සෑම ගමනාන්තයක දී ම එය භාවිත කරන ලෙස.. යම් හෙයකින් ඒම කාලය පසු වුවහොත් ඔහු ගේ හැසිරීම ඔහුට පාලනය කර ගත නොහැකි බව ඔහුත් මාත් දැන සිටිය. මේ අන් මග යන ක්‍රියාව හුදෙක් ඔහුගේ ආත්මාර්ථය සඳහාම කරන ලද්දක්.. එය දැන මා ඔහුට විරුද්ධ වුවත් අනෙක් බහුතරයක් මගීන් මට විරුද්ධ වන බව මා දැන සිටිය... හේතුව ඔවුන් තමන්ගේ සිත සතුටු කරවමින් සුන්දර හැගීමෙන් මත් වී සිටියේ අර රියදුරු සිය මත් ද්‍රව්‍යයෙන් මත් වුවා හා සමානවයි. සත්‍යය දුටු මායාවෙන් මත් නොවූ එකම පුද්ගලයා වන මා නිහඬ වුයේ මා හට මොවුනට එය පැහැදිලි කර දීමට කාලය හරස් වන බැවින්.. වාසනාවකට ඔහු විනාඩි 10කින් තම ගමනාන්තය වෙත ගොස් තම අභිමතාර්ථය ඉටු කර ගත්තා.. සතුටු වූ මගින් ඔහුට පසසා බැස ගියා. ඔවුන්ගේ කටයුතු එදින පහසුවෙන් කර ගැනීමට රියදුරු ගේ ක්‍රියාව පිටිවහලක් වුන බව පැහැදිලියි. නමුත් එම ගමන තව විනාඩි 5ක් දික් වුව නම්, රියදුරු හරහා සිදු විය හැකි විනාශය මා දුටුවා. ඔහු නොදුටුව සේ සිටියේ ඔහුට එය නොව්දගත් හෙයින්. මතුවට මා ඔහු සිටින බසයේ නොයාමට ඉටා ගත්ත. එ මෙන්ම අන් අයගේ යහපත වෙනුවෙන් මොහු ගැන නිසි බලදරයන් දැනුවත් කළා. මගේ එම ක්‍රියාව එදා බසයේ හැඟුම් වලින් මන්මත් ව ගිය ඇය දනියි නම් එය හෙලා දකිනු ඒකාන්තයි. සත්‍යය යනු අපට දැනෙන සොඳුරු හැගීම් නොවෙයි.. මිනිසුන් මෙය තේරුම් ගන බුද්ධියට ඉඩ දිය යුතු කාලය වර්තමානයයි.. මිනිසුන් බුද්ධියට ඉඩ දුන් දිනට පැසසූ මුවින් ම ඔහුව විවේචනය කිරීම අසාධාරණ ද? නෙතුපුල් ගේ රියදුරු ද මා කියන රියදුරුද එක් අයෙකු විය හැක, එසේ නොවිය ද හැක. නමුත් රියදුරු ගැන නොදැන ඔහු ගැන තීරණය ට පැමිණීම මේ කතාවෙත් ඔබගේ කතාවෙත් පොදු දෙයක්.

    ReplyDelete
    Replies
    1. මේ වගේ අදහසක් මම බලාපොරොත්තු වෙමිනුයි මේ කතාව ඔයාල එක්ක බෙදාගත්තේ...

      මේ සිද්ධිය අත්විඳිද්දී මට හිතුනු තවත් එක දෙයක් තමයි ඒ රියදුරු මහතා සමහර විට කෙටි මගින් යන්න හැදුවේ තමන්ගේ සහෝදර රියදුරන්ට වඩා කලින් සෙනග ටික එකතු කරගන්නද කියලත්...සමහර විට ඔබ කිව්වා වගේ ඔහුට ඇබ්බැහිකමක් තිබුනා වෙන්නත් ඇති...එහෙමත් නැත්තන් ඔහු තමන් එනකල් ගෙදර බලාගෙන ඉන්න තමන්ගේ දරුවන් ඉක්මනින් බලන්න ඕනි නිසා තමන්ගේ ගමන ඉක්මන් කරන්න ඇති...එහෙමත් නැත්නම් වෙනද වෙලාවට තමන්ගේ ගෙදරට යන්නම ඕනි නිසා කලින් ගිහින් අනියම් බිරිඳ එක්ක පොඩි කාලයක් ගත කරන්න උවමනා වෙන්න ඇති...

      ඔබේ කතාවේ රියදුරා ඔබ හරියට දැනගෙන හිටිය නිසා ඔබට ඒ වගේ ගොඩක් දේවල් හිතන්න උවමනා වුනේ නැහැ...මොකද ඔබ කිවූ පරිදිම ඔබ සත්‍ය දැනගෙන සිටි නිසා...ඒත්...ඔබ සත්‍යය දැනගෙන හිටියේ නැත්නම් ඔබ හිතන්නේ කොයි විදිහටද කියන එක මත ඔබ ඔබේ සිතම විග්‍රහ කරනවයි කියලයි මම හිතන්නේ...

      මේ රියදුරු මහතාගේ සත්‍ය උවමනාව කුමක් උනත්...ඔහු ඒ ගත්තු තීරණය නිසා අපි ගොඩ දෙනෙක්ට වෙන්නට නියමිත වුනු යහපත ගැන මම හිතල ඒ රියදුරු මහතාව මම "හොඳ" විදිහට වර්ග කළා...ඒක සත්‍යය නොවෙන්න පුළුවන්...ඒක ඇත්ත...

      අපිට සත්‍යය දැනගන්නම උවමනා වේලාවකදී අපි ඒක හාර අවුස්සලා හොයල බලන්න ඕනි බව ඇත්ත...ඒත් මේ වගේ වෙලාවල් වලදී...අනික් පුද්ගලයාව හොඳ විදිහට වර්ග කරලා බලන එකෙන් යහපත් සිතුවිලි අපේ හිතේ ඇති වෙනවා වගේම...සමාජයටත් යහපතක් වෙවී කියලයි මම විශ්වාස කරන්නේ....

      Delete
    2. මම කියන්න උත්සාහ ගන්නේ සුළු දෙයක්, අපි බුද්ධියට ඉඩ දී සත්‍ය ගවේෂණය කර යහපත් අනාගතයක් ගොඩ නගා ගන්නවාද, අපි කැමති උපකල්පන මත පදනම් ව හදවත ට ඉඩ දෙන "මායාවන්" වූ සිත තුටු කරවන හැගීම් වල ගිලී යනවා ද? තීරණය අප අතේ මයි.. හැගීම් වලින් සිතන විට විචාර බුද්ධිය සැගව යයි.. "හොඳ" යනු සත්‍යය නෙවෙයි.. එය හැගීමක් පමණයි. එයින් යහපතක් විය හැකියි.. නමුත් අයහපතක් වීමට ඇති අවදානම දැකීම හැගීම විසින් වසා දමනු ලබයි.. හැගීම් සමාජයට යහපතක් සිදු කරනු ඇත්තේ අන් අයගේ එම "හැගීම්" ද එසේ යහපත් වන දිනකයි.. එය කෙතරම් ප්‍රයෝගික ද? ප්‍රයෝගික මග වන බුද්ධියට ඉඩ දෙන්න.. මට "හිතෙන" හැටි.......

      Delete
    3. මම විශ්වාස කරන විදිහට හැම වෙලේම ප්‍රයෝගිය වන්නේ බුද්ධිය නොවෙයි. ඒකයි මම කිව්වේ අපිට සත්‍යය දැනගන්නම උවමනා වේලාවකදී අපි ඒක හාර අවුස්සලා හොයල බලන්න ඕනි වුනත්...හැම වෙලේම එක අවශ්‍ය නැති බව. ඒ වෙලාවට අනික් පුද්ගලයා හොඳ විදිහට වර්ග කිරීම ඔබේම හිතේ යහපතට හේතු වේවි.

      අනික...බුද්ධිය වුනත් බොහොම ඉක්මනින් රවටන්න පුළුවන්...මොකද...තමන් දකින දේ වර්ගීකරණය කරන්නේ තමන්ගේ විශ්වාසය සහ හැඟීම් වලින් නිසා. උදාහරණයක් විදිහට...සිරසේ කිව්වොත් හරි සහ රුපවාහිනියේ කිව්වොත් බොරු වගේ :)

      Delete
  4. අපේ රියදුරාට කෙළවුණේ නැකත් බලලා රිය පදවපු නිසා සහ බස් එකේ ජැක් එකයි රෝදයයි විකුනපු සහෝදරයෝ සහ යාළුවො නිසා. දැන් නම් මගීන් ට ඔහු කල හොඳත් වහන්න අලුත් ඩ්‍රයිවර්ගේ යාලු අබිලින් ලා කටයුතු කරනවා. කොහොම හරි අලුත් ඩ්‍රයිවර් ගේ අතින් බස් එක ඉදිරියේ ඇති ප්‍රපාතයට පෙල්ලෙන්නේ නැතිව හොඳ පාරක ගියොත් අපිට ඇති

    ReplyDelete
  5. එක නම් සහතික ඇත්ත...බලන් ඉම්මු ඉතින්...වෙන මොනවා කරන්නද...එත් මම හිතනවා ඔබත් මමත් වගේ තව අය ඇති අතීතය අමතක කරන්න තරන් කුහක නොවෙන අය....

    ReplyDelete