Wednesday, August 28, 2013

සිතුවිලි අංක දහය


පිස්සු කියල කියන්නෙ මටනං තේරුම් ගන්න හරිම අමාරු සංකල්පයක්. කෙනෙක් තමන්ටම තේරෙන්නේ නැති විදිහට හැසිරෙනවනන් එයාට පිස්සු කියල කියන්න පුලුවන්ද? ඔයාල මොකක්ද ඒ ගැන හිතන්නේ?

මට උවමනා නැති විදිහට මම ඔයාට කෑගහනවා සමහර වෙලාවල් වලට...ගොඩක්ම නපුරු විදිහට...ඔයත් එහෙමයි...හරියට නපුරු වෙනව මට...ඒත් අපි දෙන්නටම අපි දෙන්න නැතුව ඉන්න බෑ ගොඩක් වෙලාවක්...ඔයාට වඩා කලින් මට ඔයාව ඕනි වෙන නිසා ගොඩක් වෙලාවල් වලට ඔයාට මට රන්ඩුවෙන් පස්සෙ පලවෙනි කෝල් එක දෙන්න වෙන්නෙ නෑ...මොකද මම අඩුම තරමේ ඔයාට sms එකක් හරි එවනවනේ...සමහර වෙලාවල් වලට මට හිතෙනවා ඔයා මට ආදරේ නැද්ද කියලත්...ඒත් මම මොකක් කරන්නද...........මට ඔයාට ආදරේ නොකර ඉන්න බෑ...ඔයා ඒ කාලේ මාව වෙනස් කරපු තරම තමයි මේ...ගල් හිතක් තිබ්බ මම...ඕනි මිනිහෙක්ට ඕනි එකක් කියල බැන්නත් ඊට පස්සෙ සත පහකට ගානක් නැතුව මගේ වැඩ කරගෙන ඉන්න පුළුවන්කමක් තිබ්බ මම....ඔයා හොඳටම මාව සංවේදී කරලා...ඒ සංවේදී වෙච්ච තරම මට දරගන්නත් බැරි තරන් සමහර වෙලාවල් වලට....

ඒ වගේම මමත් ඔයාගේ කකුල් දෙක ළඟ මගේ ජීවිතේම තියල ඉවරයිනෙ...ඒ හින්ද මගේ තියෙන අසරණ කමත් මගේ හිතට වදයක්....ඔයා දන්නවනේ මාව...මම කවදාවත් එහෙම වෙලා තිබුනේ නැතිබව..............

මගේ මුළු ජීවිතේම ඔයාට කැප කරලා ඉවරයි කියල ඔයා දන්නවා නේද? මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියලත් ඔයා දන්නවා නේද? ඔයා ඉන්නකල් තමයි මගේ හුස්ම වැටෙන්නේ රත්තරං....ඒක කවදාවත් අමතක කරන්න එපා...................

~නෙතුපුල්~

4 comments:

  1. දයාබර නෙතුපුල්, ජීවිතය කියන්නේ අපි ට ලැබෙන දේවල් මෙන්ම අපිට නොලැබෙන දේවල් වල එකතුවක්. ඔබම එය ඔබගේ පෙර පොස්ටයක සදහන් කර ඇති අයුරු මම දුටුවා. මාස තුනකට පසුව හෝ, ඔබගේ රසිකයෙකු ලෙස මෙවන් පෝස්ටයක් දැකීමෙන් සතුටු වෙමි. අන් සෑම ලිපියකටම වඩා මෙහි ඔබ ඔබගේ පෙම්වතාගේ ඔබ කෙරෙහි ඇති ලෙන්ගතු කමක් පෙන්වයි. ඔබ පවසන පරිදි, ඔබව මෙතරම් වෙනස් කල අයකු ඔබව හැරදා යාමට තරම්, ඔබට ආදරය නොකිරීමට තරම් දරුණු සිතක් ඇත්තකු වීමට කිසිදු ඉඩක් නොමැත. ඔබගේ කැප වීම ඔහු මතු යම් දිනෙක අගය කරනු ඇත. ආදරය යනු සමහර විටෙක තමන්ට නොලැබෙන බව දැන දැන ම තමන් එය පසු පස ගොස් ඇලී ගැලී සිටීමක් වැනිය. හරියට ලාම්පු එලියට ආලය කරන “ආවෝ-ගියෝ(මේරු)” මෙනි. නමුත් මෙවන් වටිනා පුද්ගලයකු, ඔබ මෙතරම් වෙනසකට බදුන් කල පුද්ගලයකු කෙරෙහි සැක පහල කර ගැනීම එක අයුරකින් බැලු විට පිස්සුවකි. එනම් ඉහත උපමාව ඔබට අදාළ නොවෙයි. ඔහුට ගැටළුවක් ඇත්නම් ඔහු හා කථා කර විසදුමකට එනවා හැර, ඔබ මෙසේ සිතින් තැවී තැවී ඔබගේ දුක නිර්නාමිකව බ්ලොග් වල සටහන් කිරීමෙන් ඔබට හෝ ඔහුට කිසිදු යහපතක් නොවේ.
    මිනිසුන් අතීරණයෙන් සිටින තාක් කල් ඔවුන් ව සැකයෙන්, බියෙන්, චකිතයෙන් ඉතා දරුණු ලෙස පෙලනු ලබයි. එතෙක් ඔබගේ සිතු විලි චංචල වෙයි වරද නිවරද තේරුම් ගත නොහැකි වෙයි. ඔබ ඔහු හා ගැටුම් ඇති කරගන්නේ ඒ නිසා විය හැක. එහෙත් එසේ “වැට උඩ සිටීම” කිසි සේත් ප්‍රතිඵල දායක නොවන බව සිහි තබා ගන්න. ඔබගේ, ඔහු කියා දුන් සංවේදී බව ප්‍රශ්න වියවුල් කිරීමට නොව, ප්‍රශ්න විසදීමට යොදා ගන්න. අවංක සිතින්, කහටෙකින් තොරව ඔබ දෙපලට සුභ අනාගතයක් පතන්නේ හැමදාම ඔබ දෙස (ඔබේ ලිපි දෙස) සංවේදීව බැලූ ඒ මම ම ය.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි. ඒත් කියන්න උත්සාහ කල දේට වඩා සහමුලින්ම වෙනස් අදහසක් ඔබ තේරුම් අරන් ඇති බවයි මට හැඟෙන්නේ.
      "ඔබ පවසන පරිදි, ඔබව මෙතරම් වෙනස් කල අයකු ඔබව හැරදා යාමට තරම්, ඔබට ආදරය නොකිරීමට තරම් දරුණු සිතක් ඇත්තකු වීමට කිසිදු ඉඩක් නොමැත"
      මා මෙවැනි අදහසක් පවසා නැති බවයි මට සිතෙන්නේ. නමුත් එසේ සිතුනානම් එය මගේ ලිවීමේ අඩුපාඩුවක් විය හැකියි. අවසන් වශයෙන් මට කීමට ඇත්තේ ආදරය යනු තමන් විසින් වෙනත් අයෙකුට පිරිනමන දෙයක් පමණක් බවත් ඒ ආදරය ලබන අය නැවත තමන්ට ආදරය කිරීම හෝ නොකිරීම යනු ඒ ඒ පුද්ගලයා මත තීරණය වන්නක් පමණක් බවයි. සමහර විට එය තම තමන්ගේ වසනා මට්ටම හෝ කර්ම ශක්තිය මත තීරණය වන්නක් විය හැකියි.

      Delete
    2. ආදරය පිළිබද ඔබ දරන මතයට මම යම් තරමින් එකග වුවද ඒක පාර්ශ්වීය ආදරයක් කිසි දිනෙක ඔබ සැනසුමට පත් නොකරයි. ඔබ පෙලනු ලබයි.එය කටුක අත්දැකීමක් වනු ඇත. අපගේ ආදරය යමෙකුට නොපෙනීමද, යම් කිසි හේතුවක් නිසා නොපෙනුනාක් මෙන් සිටීමද අපගේ අවාසනාව මෙන්ම අනෙක් පාර්ශ්වයේ අවාසනාව විය හැකිය. නමුත් අනෙක් පාර්ශවයට කිසි දිනෙක එසේ හැගී නොයනු ඇත. එහෙත් ආදරණීය හැගුම්, මේ යයි කීමට නොහැකි සිතුවිලි සමුදායක එකතුවෙන් සිතෙහි පහල වීම, තාර්කික බුධියෙන් විමසා බලා පාලනය කර ගැනීම උගහටය. එය සමාජයීය බැදීම් ඔබට ද හොරෙන් බිද දමා ඔබව විටෙක වල්මත් කරයි. මදක් සිතන්න, එම මනෝ රාජ්‍යයේ ඔබ ඔහු නොමැතිව තනිවූ විට සිතෙහි ඇති වන අසරණ බව කෙතරම් ද? . නමුදු එසේ වීම ඔබගේ දෛවය හැරුණු කල අන් කවරෙක් ද? කාලයත් සමග ම එම ආදරණීය හැගීම් අතීත මතක ගොන්නට එකතු වේ. එම සුන්දර මතක දිවි ඇති තෙක් අප අඩු වැඩි වෙමින් අතර පවතිනු ඇත. අනාගතයේ දිනක එම සුන්දර මතකයන් මත රැදෙමින් ඔබ ඔබගේ දු දරුවන් දෙස, ඔවුන්ගේ කෙලිලොල් දිවියන් දෙස ඔබේ ඇසින් දකිනු ඇත. වියපත් වූ ඔබගේ, අතීත සුන්දර මතක කෙමෙන් මතකයෙන් මැකී යන විට ඔබ දෙස බලා ඔබ සමග සතුටු වන දරු මුණුපුරන් පිරිවරා සිට සතුටු දායක ලෙස දිවි ගමන දෙස බලනු ඇත. මන්ද , වයස සමග ඔබ ඔබගේ ආදරණීය සිතුවිලි වල ප්‍රමුඛතා වෙනස් කර ගත් බැවිනි. එනිසා දයාබර නෙතුපුල්, ඔබ විවාහ වී දරු මල්ලන් සමග යහපත් දිවියක් ගත කල යුතු බව මගේ හැගීමයි. ඔබ වැනි සංවේදී පුද්ගලයකු, දිවි ඇති තුරාවට මෙලෙස ඔබ පුදන ආදරය පිළිනොගන්නා අයකු කෙරෙහි සිතමින් දිවිය දිරා පත් කර ගත නොයුතුය.

      Delete
    3. ඔබ කියු දේ සියල්ල නිවැරදි වුවත් සිතක ඇතිවන හැගීම් තර්කානුකූල නොවන බවයි මගේ අදහස. හැගීම් තාර්කිකනම් මේ ලෝකයේ මෙතුවක් කල් ඇතිවූ සියලුම ප්‍රේම සබඳතා ඒ ඒ ආකාරයෙන් අවසන් නොවනු ඇත. තර්කානුකුලව පමණක් බලන්නෙකුට ප්‍රේමය, ආදරය යන සංකල්ප පවා තාර්කික නොවනු ඇත.
      ඒක පාර්ශවික ආදරය යමෙකුට ජීවිතයේ මුලාවත් තවත් අයෙකුට ජීවිතයේ සුන්දරත්වයත් ලඟා කරදෙනු ඇත යන්න මගේ විශ්වාසයයි. යම්කිසි හැගීමක් තමන්ගේ සිතෙහි ඇත්නම් ඒ හැගීම් වලින් වල්මත් නොවී ජීවිතය යන්නට තමන් දුන් අර්ථය අනුව ජීවත් වනවානම් ඒ ජීවිතය සාර්ථක වනු ඇතිය යන්න මගේ විශ්වාසයයි. යමෙකුට දරුමල්ලන් සමග ජීවත් වීම ජීවිතය විය හැකි වුවත් තවත් කෙනෙකුට එය එසේ නොවිය හැකියි.

      Delete