Friday, November 20, 2015

(අ)හිමි

සොඳුරු මොහොතක් 
ගෙවෙන සැම කල
අහිමි බව නුඹ
සිහි කරමි මම...

~නෙතුපුල්~

Friday, November 13, 2015

සාපේක්ෂ සත්‍යය...

වද කහ ද බිව් පසු
සුදු විය නොහැකි වූ කල
අවට උන් කළු කර
සතුටු වුනි උන් පිටුදැක...!

~නෙතුපුල්~

Monday, November 9, 2015

සමාජ සම්මත

සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුහු
මා දෙසට ඇඟිලි දිගු කර
අසම්මත යැයි චෝදනා කළහ
සම්මතය වර්ණනා කළහ...

එහෙත්...

අවස්ථාවක් ආ කල
සම්මතයට පිටුපා
අසම්මතය රස විඳිනට ඇති ඇල්ම
සඟවා ගැනීමට අපොහොසත් වුහ...

~නෙතුපුල්~

ප.ලි. ව්‍යාකරණ වැරදි පෙන්නලා දුන්න ඇනෝ ට ගොඩක් ස්තුතියි....

Monday, November 2, 2015

තනිකමේ සිතුවිලි...

ඝනදුරු රැයක සීතල නැති කරලන්න
බියකරු සිහිනයෙන් මා මුදවා ගන්න
පියකරු වදන් මා සවනත මුමුනන්න 
කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...

සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට 
දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට 
ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට 
හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...

~නෙතුපුල්~



"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ලස්සනම පදය...

Monday, October 26, 2015

අවසන් කවිය...



මතකයෙ  සියලු දේ කැටි කොට යලි දෙන්න
අවසන් වතාවට නොදැකම ඔබ යන්න...
ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්න
මගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...

~නෙතුපුල්~

යතාර්ථය

නුඹත් දන්නා
මමත් දන්නා
වෙන කිසිවෙකුත්
නොදන්නා
යතාර්ථය...

~නෙතුපුල්~






Sunday, October 25, 2015

මෙරුවෙක් පන් සිලට කිව් කව...


අඳුරු රැය දිදුලන
සිත් තුටින් පුරවන
මද සුළගෙ නැළවෙන 
නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?

නැවත යන්නට බැරී
වෙනතක් බලනු නොහැකී
දිවි අඳුරු මැකුනී 
මගේ දිවි නුඹ හටම පුදමී...

සතුට හිමි මොහොතයි
එහෙත් නුඹ තව දිදුලයි
මියැදුනත් සතුටුයි 
නුඹේ උණුසුම සදා මතකයි...

~නෙතුපුල්~


මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...
http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html