~සිතුවිලි~
Saturday, August 29, 2015
සාදය...
මීවිතෙන් මත් වූ
මියුරු නාදෙන් පිනවූ
සිනා කැන් පිරවූ
සාදයකි සැම දෙනා රැස්වූ
කිසිදා නොමැති සතුටක්
කිසිදා නොතිබු සෙනෙහක්
මවා පාමින් තවත්
ගෙවා දමනා නිසරු දිනයක්!
~නෙතුපුල්~
Tuesday, August 25, 2015
බොඳ වූ සිතුවිලි...
කෑගසා නොකීවට
ඉකි ගසා නොහැඬුවට
මගේ සිත, මගේ ගත
රිදෙන බව නොපෙනුනිද...
නුඹේ එක් වදනකට
හැඟුම් බර වන මසිත
වේදනා විඳින වග
නොදැනුනේ ඇයි නුඹට...?
~නෙතුපුල්~
Tuesday, August 4, 2015
නුඹ නොමැති මා දිවිය...
නුඹේ දෙතොලග රැඳුනු මද හස
මගේ සිත අග තනි රකින සඳ
නුඹේ සුසුමක රැඳුනු උණුසුම
මගේ මතකය පාරවයි අද...
නුඹේ රළු අතැඟිලි වලින් නුඹ
මගේ අත ගෙන ගෙවූ ඒ දින
නුඹේ අත්වැල නොමැති අද දින
මගේ දිවියට නොමැත හිරු සඳ...
නුඹේ වදනක පහස ලබනට
මගේ දෙසවන බල කරයි මට
නුඹේ සෙනෙහස නැවත දකිනට
මගේ නෙතු යුග මග බලයි අද...
~නෙතුපුල්~
Monday, July 20, 2015
...
හිරුට පමණක් උරුම අහසේ
තරු කැළුම් නොපෙනේ...
හිරු සයුරු ඉම සිඹින මොහොතේ
තරු පිපී දිලිසේ...
පිපී දිලිසෙන නුඹේ තරු යුග
මගේ නෙත් මත හෙලන මද හස
බැඳුනු අතැඟිලි රැඳුනු උණුහුම
ගෙන දෙවයි මා සිතට සැනසුම...
නුඹේ සුසුමක වෙලෙන මා ගත
සදා සැනසුම ගෙනෙයි මා හට
සදා කල් නුඹ සමග රැඳුමට
කියයි මා සිත කොඳුරමින් මට...
~නෙතුපුල්~
Monday, June 22, 2015
අද අවසන් ගමන් ගිය මගේ ආදරණිය සීයා ගැන මතක...
හිතට කිසිම බරක් නැති කිසි දෙයක් නොතේරෙන පුංචි කාලෙදි, අද වගේ සල්ලි යහමින් නොතිබ්බ නිසා මටත් වඩා පුංචි මගේ නංගි බලාගන්න අම්ම මුළු දවසම දඟලද්දී...මාව ඉස්කෝලෙන් අරන් පන්තියට ගිහින් දැම්මේ, පන්ති ඉවර උනාම මාව ගෙදර එක්කරන් ආවේ මගේ සීයා...පරණ කාලේ විදුහල්පතිවරයෙක් වගේම ගමේ සමිති සමාගම් හැම එකකම වගකීම් දරපු කෙනෙක් විදිහට ඒ කාලේදී අපි සීයාව දැක්කේ බොහොම තද ගතිගුණ තියෙන මිනිහෙක් විදිහට...
අපි ටිකක් ලොකු වෙනකොට...අපේ වටේ ඉන්න යාලුවන්ගේ තාත්තලා කලිසම් කමිස ඇඳගෙන එයාලව එක්කන් එන්න පන්ති ලඟට එනකොට...ආරිය සිංහල ඇඳුමෙන් සැරසුන මගේ සීය මාව ගන්න පන්තිය ලඟට එන එකට මම ඒ තරම් කැමති වුනේ නැහැ...එත්...හොඳ වෙලාවට...ඒ කාලේ අපිට හොඳ නරක හරියට කියල දීල තිබුන නිසා අද අතීතය මතක් කරද්දී පසුතැවෙන වචනයක් මගේ අතින් කියවුනේ නැහැ...
පුංචි කාලෙදි සීය කියන වචනෙකට නිකමටවත් ආපස්සට වචනයක් කියන්න තරන් මම බය වුනත්...ටික ටික ලොකු වෙද්දි...ඉස්කෝලේ පන්තියේ අවුරුද්දෙන් අවුරුද්ද ඉහලට යද්දී...ඒ ගති ගුණ පොඩ්ඩක් වෙනස් වෙන්න ගත්තා...කවමදාවකවත් එක වචනයකින්වත් මම සීයට බැනල නැති වුනාට...දින වකවානු මතකත් නැති වුනාට...අදටත් පසුතැවෙන තරමට මට මතකයි එක දවසක් මම සීය කිව්ව දේකට එකට එක කිව්වා...හැබැයි ඒ වෙලාවේදීම මම ඒ ගැන පසුතවුන වගේම...ඊට පස්සේ ඒ වගේ දෙයක් මගේ අතින් නොවෙන්න මම වග බලාගත්තා...
අපි ඉගෙනගෙන විභාග පාස් කරන් විශ්ව විද්‍යාලේ යද්දී...ආච්චි අම්ම වගේ අපිව බදාගෙන ඉඹල අපිට සුබ පැතුවේ නැති වුනාට...ඒ ගැන හිත යටින් ආඩම්බර වුනා කියල මම හිතනවා...කාලෙකට පස්සේ මහගෙදර කොල්ලෝ කෙල්ලෝ ටික මාමල නැන්දලා ඔක්කොම එක්ක එකතු වෙලා ගමටම ඇහෙන්න ඕප දූප කියෝ කියෝ හිනාවෙද්දී...හැමදාමත් අපි වයස් බේදයක් නැතුව බැනුම් අහනවා...ඔය සිරික්කිය නවත්තන්නේ නැද්ද ළමයිනේ මට කනක් ඇහිලා ඉන්න නෑනේ කියල...
ඔය හැම දෙයක්ම අස්සේ තිබුනේ අපි ගැන තිබුන ආදරේ කියල මම දන්නවා...මම කසාද බැඳලා ගෙදරින් පිට වෙලා යනකොට...මගේ ඔලුව ඉඹල මට සමු දුන්නේ නැති වුනාට...ඇස් වල කඳුළු පිරිලා තියෙන්න ඇති අනිවාර්යයෙන්ම...මොකද...ඔයාලගේ තුන් වෙනි පරම්පරාවේ පළවෙනියා මම නිසා....
හිතපු විදිහට ජීවිතේ හැමදේම නොවෙද්දී...ප්‍රර්ථනා කරපු නැති විදිහට ජීවිත වෙනස් වෙද්දී...හිස් අතින් මට අපහු ගෙදර එන්න වුනාට පස්සේ...ඔයාලගේ හිත කඩෙන නිසා මම ඔයාට බොරු කිව්වා...පුතා එන්නේ කවද්ද කියල මගෙන් හැම වෙලේම අහද්දී...එහෙම බොරු කිව්වේ බොරුවක් කියන්න ඕනි කමක් තිබුන නිසා නෙමෙයි...ඉන්න කාලේ ඔයාල සතුටින් ඉන්න ඕනි නිසයි...ඇත්ත දැනගත්තම ඔයාල මම වෙනුවෙන් දුක් වෙන නිසයි...
අපි නොහිතුව තරන් ඉක්මනට සීයා දුර්වල වුනා...අපි හැමෝම කරන්න පුළුවන් හැම දේම කරත් අන්තිමේදී එයා අපිව දාල ගියා...හිටිය තත්වේ හැටියට තර්කනුකුලව වෙන්න ඕනි දේ ඒක කියල දන්නවා වුනත්...දවස් තුනකට හරි සීය හුස්ම ගන්නකොට මට බලන්න යන්න පුළුවන් වුනත්...මේ වෙලාවේදී මට ඔයා ළඟ ඉන්න බැරි වුන එක ගැන මට දැනෙන්නේ දුකක්...
මට හැම වෙලේම මතක්වෙයි...මම ලංකාව දාලා එන්න කලින් මට කිව්ව දේ...ළමයි පිටරට යන එක ගැන නම් මගේ එච්චර කැමැත්තක් නෑ...
~නෙතුපුල්~
Tuesday, April 14, 2015
සුභ අළුත් අවුරුද්දක් වේවා!
ඝණඳුර නිවා හිරු කිරණක් මතු වේවා
සැනසුම විනා දුක් කිසිදා නොම වේවා...
සිතනා පැතුම් එම ලෙසකින් ඉටු වේවා
ලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරේවා...
~නෙතුපුල්~
රහස...
කිසිඳු දින කිසිවෙකුට නොදැනෙන
කිසිම විට කිසිවෙකුත් නොසිතන
අපේ රහසේ සොඳුරු සිතුවම
ඇඳී ඇත තරු සපිරි නෙත් තුල...
කිසි කෙනෙක් නොදකිනා මොහොතක
නුඹේ නෙත් තුල දිලෙන සෙනෙහස
විඳින මා සිත තිබෙන සැනසුම
කිසි විටෙක නොදැනේවි වෙනෙකුට...
~නෙතුපුල්~
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)