Tuesday, April 14, 2015

සුභ අළුත් අවුරුද්දක් වේවා!


ඝණඳුර නිවා හිරු කිරණක් මතු වේවා
සැනසුම විනා දුක් කිසිදා නොම වේවා...
සිතනා පැතුම් එම ලෙසකින් ඉටු වේවා
ලබනා අවුරුද්ද කිරියෙන් ඉතිරේවා...

~නෙතුපුල්~

රහස...



කිසිඳු දින කිසිවෙකුට නොදැනෙන
කිසිම විට කිසිවෙකුත් නොසිතන
අපේ රහසේ සොඳුරු සිතුවම
ඇඳී ඇත තරු සපිරි නෙත් තුල...

කිසි කෙනෙක් නොදකිනා මොහොතක
නුඹේ නෙත් තුල දිලෙන සෙනෙහස
විඳින මා සිත තිබෙන සැනසුම
කිසි විටෙක නොදැනේවි වෙනෙකුට...

~නෙතුපුල්~



Sunday, March 15, 2015

අත්වැලක් නොවුනාට සෙවනැල්ල වූ නුඹට...

Image result for shadow following a girl

ගතින් දෙදෙනක් වෙමින් සිත් පෙමින් බැඳුනාට 
සිතින් එක තැන් වෙමින් වදන් නොම කිව්වාට 
නෙතින් නෙත පටලමින් පෙමින් ලං නොවුනාට 
සිතින් මා තනි නොකළ සෙවනැල්ල වුනා මට...

~නෙතුපුල්~

Saturday, March 14, 2015

හිස් වුනු මගේ සිත...


කාලෙකින් කිසි දෙයක් ලියවුනේ නැති උනාට ජීවිතේ නම් ගොඩක් වෙනස්කම් වෙන කාලයකුයි මම ගත කරමින් ඉන්නේ...ලියන්න දෙයක් හිතට එන්නෙම නැති තරම්...හිත මේ තරම් හිස් වෙලා තියෙන්නේ පහු ගිය කාලෙදි මම මගේ ජීවිතය ගැනම ගත්තු තීරණ ගැන මට අපැහැදිලි හැඟීමක් දැනෙන නිසා කියල මට දැනෙනවා....

මාව හොඳින් අඳුරන අය වගේම...මගේ බ්ලොග් එක මුල ඉඳන් කියවපු අයත් දන්නවා ඇති මගේ ජීවිතේ ගොඩක් සිදුවීම් වලින් පිරුණු එකක් බව. එත් ඒ කිසි දේකින් මම පසුතැවුනේ නෑ වගේම ජීවිතය නතර වෙන්න දුන්නෙත් නැහැ. මම ගොඩක් දුක් වින්ද බව ඇත්ත. එත් කවදාවත් මම ගත්තු තීරණ ගැන පසුතැවුනේ නැහැ...එත් ගිය මාසෙදි මම මගේ වගේම මගේ පවුලේ අය ගැනත් හිතල ගත්තු මේ තීරණේ හරිද වැරදිද කියල මම තාමවත් දන්නෙ නෑ...

දශක තුනක් වුනු මගේ ජීවිතේදි මම හරි හම්බ කරපු හැම දෙයක්ම ලංකාවේ තියල මම මගේ පවුලේ අයට යහපතක් කරන්න පිට රටකට ආවත්...මට ඒ දේවල් කරගන්න පුළුවන් වෙයි ද කියල මම දන්නෙ නැහැ...කොච්චර අමාරුවෙන් උනත්... මට ආදරය කරන...මම ආදරය කරන ඒ අය එක්ක ඉන්න තිබුනනම් මිට වඩා මගේ හිත නිදහස් වෙන්න තිබුනදත් කියල මට දැන් හිතෙනවා...වැරදෙන්න තීරණ නොගත්තු මට මෙතෙන්දි වැරදුනාද කියලත් මට දැන් හිතෙනවා...



~නෙතුපුල්~


Wednesday, January 14, 2015

නින්දා...ප්‍රශංසා...


පාප් වහන්සේ ලංකාවට සැපත් වෙලා. ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සලස්වන්න කොළඹ විවිධ ස්ථාන වල මාර්ග වසා දැමුනා. ඒ සියලු දේවල් අතරෙදි අපිත් වෙනද වගේම අපේ රාජකාරි කටයුතු වලට ඇවිත්, සුපුරුදු වෙලාවට නිවෙස් බලා යන්න සුදානම් වුනා. සුපුරුදු මාර්ගයේ 138 බසයකට නැගුනු මම හැමදාමත් තියෙන මාර්ග තදබදය දිහා බලන් හිටියා...වෙනද හිමින් සැරේවත් ඉදිරියට ඇදෙන වාහන ඊයේ එකම තැන තිබුනේ පාර ඉදිරියෙන් වසා දැමුණු නිසා බව තේරුම් ගිය නිසා පොඩි නින්දක් දාන්න හිතාගෙන මම ඇස් පියාගත්තා...

බොහොමත්ම හිමින් ඉදිරියට ඇදුනු බස් රිය එක පාරටම වේගයෙන් යන්න පටන් ගත්ත බව මට දැනුනු නිසා මම පොඩ්ඩක් වටපිට බැලුවා. හිතට සතුටක් දැනුනේ නියමිත මාර්ගයේ එක තැන ඉන්නේ නැතුව බස් රියදුරු අතුරු මාර්ගයකට හරවලා යන බව තේරුම් ගිය නිසයි. හැම තැනින්ම ඇහුනේ බස් රියදුරුට කරපු ප්‍රශංසා. මොකද...හැමෝටම ඕනි වුනේ ඉක්මනින් ගෙවල් වලට යන්නයි.

අවාසනාවට...ඒ සතුට තිබුනේ බොහොම ටික වෙලාවයි. දොර දෙකේ ලේලන්ඩ් බස් එකක් වුනු නිසා රියදුරු මහත්තය යන්න හිතන් හිටිය පටු පාරට ඔහුට බස් රථය හරව ගන්න බැරි උනා...මොකද...වෙනද නොතිබ්බ පරණ ලොරියක් ඒ පටු පාරේ හන්දියේම නවත්තල තිබුන නිසා...ඒ වෙලාවේ ඇති වෙච්ච කලබලය නිසා ඒ අවටත් පොඩි මාර්ග තදබදයක් ඇති වුනා. මැදිවියේ පුද්ගලයෙක් වුනු බස් රථයේ රියදුරු මහතාට කොන්දොස්තර මහතාගේ ඇනුම් බැණුම් වගේම බස් රියේ හිටපු අනික් මගීන්ගේත් රළු වචන අසමින් බස් රිය අනතුරකින් තොරව නිවැරදි මාර්ගයට ගන්න පුදුම වෙහෙසක් ගන්න සිද්ධ වුනා.

විනාඩි කිහිපයකට උඩදි බස් රියේ හිටපු සියලු දෙනාගේ පහසුව වෙනුවෙන් තදබදය වළක්වාගෙන නියමිත ගමනාන්තය දක්වා ඉක්මනින් යන්න හිතාගෙන ඒ බස් රියදුරු මහතා ගත්තු තීරණය ඔහුගේම අවාසනාවට හේතු වුනා...බස් රථයේ හිටපු හතළිහක් පමණ වූ මගීන්ගේ කටින් හොඳ වෙනුවට රළු වචන පිට වෙන්න ගත වුනේ බොහොම පුංචි කාලයයි. 

මේ සිද්ධිය තවත් දරුණු වුනේ හිතන් හිටිය මාර්ගයේ යන්න බැරි වුනු රියදුරු මහතාට ඊළඟට මුණ දෙන්න වුනු සිද්ධිය නිසයි. බස් රිය ඇවිත් තිබුනේ එක් දිශාවකට විතරක් ගමන් කරන ප්‍රධාන මාර්ගයකට. ඒ නිසා ඔහුට යා යුතු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට බස් රිය ගමන් කරවන්න සිද්ධ වුනා. ටික වෙලාවකට කලින් රළු වදන් කියපු බස් මගීන්ට රියදුරු මහතාට උසුළු විසුළු කරන්න මේක හොඳ අවස්ථාවක් වුනා. 

මිනිස්සු වෙනස් වෙන්න ගත වෙන්නේ කොයි තරන් පුංචි කාලයයිද? මීට විනාඩි ගානකට කලින් බොහොමත් පැසසුම් ලබපු ඒ රියදුරු මහතාට පරුෂ වදනින් බනින්නත්, ඊළඟට උසුළු විසුළු කරන්නත් ඔවුන්ට ගියේ විනාඩි කිහිපයක පුංචි කාලයක් විතරයි...

හැම මිනිහම හැම වෙලේම ගන්න තීරණ හරියන්නේ නැහැ. එක ඔබටත් මටත් පොදු දෙයක්. එහෙම වුනා කියල වැරදුනු මිනිහට බනින එක බොහොමත්ම නරක දෙයක්. හොඳ චේතනාවකින් අපි හැමෝටම හොඳක් කරන්න ගිය ඒ මනුස්සයට කොයි තරන් හිතට වේදනාවක් වෙන්න ඇත්ද? අනික...හරි වැරදි කියන්නේ බොහොම සාපේක්ෂ දෙයක්. එතන ඒ තදබදේ එක තැන දාඩිය පෙරාගෙන හිටියනං සමහර විට මේ මිනිස්සුම රියදුරු මහත්තයට බනින්න තිබුන ඇයි වෙන පාරකින් ගියේ නැත්තේ කියල...

හැමදාම හැම තැනම පෙන්නේ මේ වගේ අසාධාරනකම්...මෙහෙම දේවල් අහන්න දකින්න ලැබෙන කාලෙක අපිට ජීවත් වෙන්න වුනේ අපේ අවසනවකටද මන්දා....

~නෙතුපුල්~


Saturday, January 10, 2015

rural middle-class Sinhalese idiots!


ජනාධිපත්වරණ ප්‍රතිපල අහල හිත කලකිරිලා බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉන්න අතරේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක් මම දැක්ක. හිතට බොහොමත්ම අමාරු උනේ කටමැත දොඩන්නේ නැතුව, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහින්ද මහත්තයව දිනවන්න තමන්ගේ අහිංසක චන්දය දීපු කොළඹින් පිට පළාත් වල ඉන්න සිංහලයව හඳුන්වන්න යොදපු යෙදුමටයි. විරුද්ධ මත මට ඉවසන්න පුළුවන්. නමුත්, මේ අහිංසක මිනිස්සුන්ට rural middle-class Sinhalese idiots කියල කියනවටනම් මම බොහොමත්ම විරුද්ධයි.

මම කියවපු ඒ ලිපිය මෙතනින් බලන්න:
https://lefroy.wordpress.com/2015/01/09/feeling-free/

ගම් වල ඉන්න මධ්‍යම පන්තික මිනිස්සු මෝඩයින්ද? සිරස මාධ්‍ය ජාලයෙන් ප්‍රකාශය වෙන දේ විතරයිද හරි? එතකොට රුපවාහිනී, අයි.ටී.එන් එකෙන් එදා මෙදා තුර කිසි ඇත්තක් කියල නැද්ද? ඇයි මෙහෙම අන්තවාදී ප්‍රකාශ කරන්නේ? 

මේ ලිපිය ලියපු පුද්ගලයා කොළඹ 7 ඉපදුනු කෙනෙක් වෙන්න ඇති, උසස් යයි සම්මත පන්තියෙත් වෙන්න ඇති...සිංහලත් නොවෙන්න ඇති සමහර විට...හැම කෙනාටම අදහස් ප්‍රකාශ කිරීමට සමාන අයිතියක් තිබ්බට ඔය ලිව්ව මහත්තය හෝ නෝනා (මම දන්නෙ නැහැ ඔබ කවුරුන්ද කියල) මිට වඩා සංයමයකින් ඒ මිනිස්සු ගැන කතා කරානම් බොහොම වටිනවා...

ඔබ නොදන්නවා වෙන්න ඇති...ඔය rural middle-class Sinhalese idiots ල තමයි මේ රටේ ජීවනාලිය. ඒ මිනිස්සු ඔබ තරම් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් ඒ මිනිස්සුන් එකා වන්ව සිංහලයා වෙනුවෙන් චන්දෙ දුන්නා. ඔබ කියන උසස් පන්තියේ මිනිස්සු මහ ලොකු කතා කියමින් රට අරාජික කළා...එහෙම බලද්දී බුද්ධිමතා කවුද? 

ඔය rural middle-class Sinhalese idiots ල තමයි රටට රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා දිනා දුන්න නිදහස නිසා තමයි ඔබතුමා (හෝ ඔබතුමිය) අද මේ කටමැත දොඩවන්න ජීවත් වෙන්නේ...ඒ මිනිස්සුන්ට අවශ්‍ය ගරු කිරීම ලබා දෙන්න. එතකොට ඔබ අඩුම තරමින් සංයමයකින් යුතු පුද්ගලයෙක් විදිහටවත් අපිට පෙනී යාවි.

~නෙතුපුල්~

Friday, January 9, 2015

ජනාධිපතිවරණය සහ සිංහලයාගේ පැරදුම...


කිසිදා නොතිබුනා මේ රට නිදහස්ව 
සැමදා සැමදෙනා බැලුවේ සොලවන්න
අපගේ නිදහසේ සලකුණු කරලන්න 
නුඹ හට හැකි වුනා ලක් මව ජය ගන්න...

කල කී දේ මතක නැත අප හෙළයන්ට
කල ගුණ සැලකුමක් ඕනෑ නෑ රටට
සෙන්කඩගලත් පරදා දැමුවයි නුඹව 
හෙළ පැරදුමයි පෙන්වන්නේ මේ තරම...

නුඹ හෙළ රජෙකි කිසි දින අමතක නොවෙන
හරි සිංහලුන් සැමදාමත් නුඹ සමග
නුඹේ ගුණ වරුණ අප හද තුල ඇත තවම 
නුඹ සැමදා දිනයි අප හදවත් අතර...

හිමියන් සෝම පැවසු සියලුම දේම
අද සැබවින්ම පෙන්වන්නේ අප සැමට 
හෙළ රජ කෙනෙක් පත් කෙරුමට ලක් මවට 
කිසි දින නොලැබේවි නැවතත් අප සැමට...

~නෙතුපුල්~