Monday, September 30, 2013

බිඳුණු පෙම...


පැතු එම පැතුම් සිහිනයකින් නිම වෙන්න
සිතුවිලි කැඩී ගොස් කඳුලැල්ලක් වෙන්න
පෙම් සිත බිඳී ගොස් පෙම අවසන් වෙන්න
කිසිදා නොපැතුවෙමි දිවියේ තනි වෙන්න...

~නෙතුපුල්~

Friday, September 27, 2013

මා වෙනුවෙන් ලියැවුණු ඔහුගේ සිතුවිලි...

දැනට අවුරුදු දෙකකට විතර කලින්...ඔයා මට ගොඩක් ආදරේ කරපු කාලේ (ඔව් එහෙම කාලයකුත් අපිට තිබුණා) ඔයා මං වෙනුවෙන් ලිව්ව මේ කවිය අපේ මැරුණු ආදරය වෙනුවෙන් බ්ලොග් එකේ සටහන් කරන්නේ....මේ කවියට වගේම ඒ කාලයටත් මම ගොඩක් ආදරෙයි...


~නෙතුපුල්~

Wednesday, September 25, 2013

සත්‍ය ප්‍රේමය


කිසිවෙක් නොදුටු
සැම පවසපු
සත්‍ය ප්‍රේමය...
අමරණීයයි
විඳින්නට සුන්දරයි
අවදි වූ කල 
සිහිනයක් පමණයි...

~නෙතුපුල්~


Thursday, September 19, 2013

තරු කුමරියට සඳ කිව් කවි...


තරු කුමරියනි නුබේ කඳුළැලි මට පෙනුනි
හිරු නොම දකින  ඒ කදුළැලි මට දැනුනි
තරු වන් දෑස වෙහෙසා නොහඬනු කුමරි
හිරු නොදුටුවත් ඒ කඳුළැලි මම පිසිමි

දහවල් කලට සොඳුරුයි ඔබෙ සිනා රැලි
සිහිලැල් සොඳුරු  වදනුයි ඇති මුවේ පිරි
නෙතුකැන් වසා ගත්තත් කඳුළැල් සපිරි 
මම දන්නවා, සිත ඇත්තේ දුකින් පිරි

තරු කුමරියෙනි නුඹේ දුක්බර සිතුම් රැලි
හිරු නොදකීවි කිසි දින ඒ කඳුළු රැලි
හිරු හැර දමා මා වෙත එනවනම් හැරි 
හිරු නොම වුවත් විය හැක මට නුඹේ හිමි 

හිරු දැඩි වේවි එය නවතනු බැරි වේවි 
මම හිරු නොවෙමි සඳු වෙමි ඔබ හට ප්‍රේමි 
හිරු ඔබ දවයි මම සිසිලස ගෙන දේවි 
තරු කුමරියගෙ තනිකම පලවා දාවි 

හිරු හැර දමා මම සඳු වෙතටම ආමි 
සඳ හැංගිලා මුළු අහසම හිස් වේවි 
තරු කුමරියගෙ කඳුළැල් තව නැත වේලි 
හිරු සඳු දෙකම නොමැතිව කඳුළැල් සලමි

~නෙතුපුල්~


Monday, September 16, 2013

මට ආදරය කරන...ඔබට...



නිදහස්, සොඳුරු මගෙ යව්වන සමය 
නිම වී ගොසින් එය ආදරයත් සමග
කොතරම් බලන් උන්නත් ප්‍රේමාතුරව 
ඔබහට නොලැබේවි මහදින් ආදරය 

වියලුණු හදකි මා හට ඉතිරිව ඇත්තේ
ඒ හදවතෙහි ආලය ඉතිරිව නැත්තේ
මා වෙනුවෙන් නුඹ කැප විය යුතු නැත්තේ
නුඹේ ආදරය මතුවට සුරැකිය යුත්තේ 

ඔබ මග දමා යන්නට මට නොසිතේවි 
එනමුත් මිතුදමින් මතුවක් නොලැබේවි
ඔබෙ ආදරය මතු සැමදින සුරැකේවි 
ඔබ හට පෙම් කරන කිසිවෙක් හමුවේවි

~නෙතුපුල්~






හරි - වැරදි


මේ ලෝකේ මහ පුදුමාකාර මිනිස්සුන්ගෙන් පිරිලා. උපරිමයෙන්ම ආදරේ කරලා ඒ ආදරෙන්ම ඇති වෙනකල් හිත රිද්දගෙන...ඒ වෙනුවෙන් තමන්ගේ ඇස් දෙක වෙහෙසෙනක් අඬලා...ජීවිතේම එපා කරගෙන...වද විඳපු අය ඉන්නේ මම විතරක් නෙමෙයි. තමන්ට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන එක වැරදිද? ඒ වගේම අනික් පැත්තෙන් බැලුවොත්...තමන්ට ආදරය කරන කෙනාට තමන් ආදරය කරන්නම ඕනිද? කොයිකද හරි? කොයිකද වැරදි?

ඔන්න ඔහොම හිත හිත ඊයේ හවස ගම්සබා හන්දියේ color lights ළඟ වාහනේ නවත්තගෙන හිටිය විනාඩියක් දෙකක් අතරේ දකින්න ලැබුණු සිද්දියකුයි මේ පොස්ට් එක ලියන්න මට නිමිත්තක් උනේ. ඔතනින් ඔබ එක වතාවක් වත් ගිහින් තියෙනවනන් එතන ඉන්න යාචකයින් ඔබට අරුමයක් වෙන්නෙ නැහැ. කොළ එලිය දල්වෙනකල් මේ හන්දියේ වහනය නවත්තල තියන්න වෙනවමයි කොයි පාරෙන් ආවත්...ඒ වෙලාවට වාහනේ වීදුරුවට තට්ටු කරලා කාසි ඉල්ලන යාචකයින් 6-7 දෙනෙක්වත් එතන ස්ථිරවම ඉන්නවා. හැමදාමත් ඉන්නේ එකම කට්ටිය. ඒ නිසා ඔතනින් නිතර යන එන මම වගේ අය ඇත්තම කියනවනං සල්ලි දෙන්නේ නැහැ එයාලට...

වෙනද හැමදාමත් දකින සුපුරුදු වටපිටාව දිහා බල බල රතු එලිය නිමිල කොළ එලිය වැටෙනකල් මම ඊයේ බලන් හිටියේ මගේ අහිමි ආදරය ගැන හිත හිත. ටක් ටක් ගල වීදුරුවට තට්ටු කරන සුපුරුදු හඬ...ඉවසිල්ලක් නැතුව පිටිපස්සේ ඉඳන් හෝන් ගහන 117 බස් එක...තව කවුද මගේ දිහා බලන්නේ කියල හිත යටින් හිත හිත අමුතු ලතාවකට අඩි උස පාවහන් එක්ක කැඩිච්ච තාර පාරේ හරඹ කරන ඒ ලාබාල යුවතිය...මෙලෝ සිහියක් නැතුව ජංගම දුරකථනය කනේ තියන් එක සීරුවට කතා කර කර, කාණුවට වැටෙන්නේ නැතුව, වාහන පෝලිමේ නොගැවී තමන්ගේ ගමන ඉක්මන් ගමනින් යන තරුණයා...

මේ ඔක්කොම අතරේ එක්තරා පුද්ගලයෙක්...තැනක් දෙකක් ඉරුණු කිලිටි සරමක් ඇඳගෙන...ඒ වගේම අපිරිසිදු කමිසය...නොපිරු හිසකෙස්...ඔහුත් ඔහුගේ ගමන යනවා...පාර දිගේ ඇවිදගෙන. දකුණු අතේ පරිස්සමට අල්ලන් හිටිය දේ...ඇඳුම වගේම අපිරිසිදු පත්තර පිටුවකින් ඔතල තිබුනත් මට ගල් බාගේ බෝතලේ හොඳට අඳුරගන්න පුළුවන් වුනා...දුටුව පමණින්ම මට ඔහු ගැන ඇති උනේ අප්‍රසන්න සිතුවිල්ලක්...මේ මිනිහට ගල් බාගේ ගන්න පුළුවන්...මිනිහෙක් වෙන්නයි බැරි කියල...

මම ඒ සිතුවිල්ලෙන් සිත අප්‍රසන්න කරගනිද්දී ඔහු ඔහුගේ ගමන ගියා...කවුරු ඔහු දිහා බලයිද...කවුරු මොනවා හිතයිද ඒ කිසි දෙයක් ගානක් නැතුව...ඒ අප්‍රසන්න සිතුවිල්ල ඉවර වෙන්නත් කලින් කොළ එලිය දැල්වුනා...117 බස් එකේ හෝන් එක ආපහු එක දිගට...වාහනේ ඉදිරියට ගන්න කලින් මම දැකපු ඒ දසුන මගේ හිත හොඳටම සසල කලා...මගේ අප්‍රසන්න සිතුවිල්ලට ලක් වුන ඒ ඔහු...තමන්ගේ අතේ මිට මොලොගෙන හිටිය බෝතලේ අනික් අතට අරගන්න ගමන්...ඒ අතේ ඉතුරු වෙලා තිබ්බ රුපියල් පහ එතන හිටිය යාචකයට දීල තමන්ගේ ගමන යන්න ගියා....වාහනේ වේගය ඔහුත් මාත් අතර දුර වැඩි කලා...

පුංචි කාලේ ඉඳන්ම අපිට ඉගැන්නුවේ හරි දේවල් කරන්න, වැරදි දේවල් කරන්න එපා කියලයි. ඒත් ඉතින් දැන් බලද්දී මේ හරි වැරැද්ද අපිට හරියට තේරෙනවද?...ගල් බාගේ ගත්තු ඔහු හරිද? සල්ලි හම්බ කරන්න පුළුවන් කියල පේන යාචකයන්ට සල්ලි නොදුන්න මම වැරදිද? ගල් බාගේ අරන් ඉතුරු උන රුපියල් පහ ඒ යාචකයට දුන්න ඔහු හරිද? ඔහු විවාහකයෙක්නන්...තමුසේ අදත් හම්බ කරපු සල්ලි වලින් බොන්න වියදම් කරා කියල බනින ඒ කාන්තාව වැරදිද? 

එතකොට අපි මෙච්චර කාලයක් කරලා තියෙන දේවල් හරිද? වැරදිද? අපි එතකොට ඉස්සරහට කරන්න ඕනි මොකද්ද? කොහොමද හරිද වැරදිද කියල අපි තෝරගන්නේ? හරි වැරැද්ද සාපේක්ෂයි නම් අපි මොකකට සාපේක්ෂවද හරි වැරැද්ද තෝරාගන්නේ? ඒත් කෙනෙක්ට සාපේක්ෂව හරි කියන දේ මට වැරදි නං එතකොට මම කරන්න ඕනි මට හරි කියල හිතෙන දේද? අනේ මන්දා.........ඇයි ජීවිතේ මේ තරන් සංකීර්ණ?

~නෙතුපුල්~






Wednesday, September 11, 2013

මිතුදම සහ ආදරය

කවුරු කොහොම විග්‍රහ කලත් මටනම් මිතුදම සහ ආදරය අතරේ ලොකු වෙනසක් තියෙනවා. මම හිතන විදිහට මිතුදමකදී කිසිම කායික බැඳීමක් නැහැ. අතින් අල්ලගෙන ඇවිදීමේ ඉඳන් අනික් ඔක්කොම ආදරය එක්ක බැඳුනු දේවල්. මිත්‍රයෙක් තමන් දිහා බලද්දී හදවත ඇතුලේ පිටකරන්න බැරි තරන් සතුටක් හිරවෙන්නේ නැහැ. ඒ බැල්ම දරාගන්න බැරුව බිම බැලෙන්නේ නැහැ...අනේ මට එයත් එක්ක මුළු ජීවිතේම එකට ඉන්න තිබුනනං කියල හිතෙන්නෙත් නැහැ. මිත්‍රත්වය ආත්මාර්ථකාමී නැහැ මම හිතන විදිහට. ඒත් ආදරය පොඩ්ඩක් හරි ආත්මාර්ථකාමීයි.

මගේ ආදරවන්තයා මට ආදරේ නොවුනට...එයා වෙන කෙනෙක් එක්ක විවාහ උනත් මම තරහ නැහැ කියල හිතුවට...හිතේ කොනක අර ආත්මාර්ථකාමී බලාපොරොත්තුව හැංගිලා තියෙනවා හැම වෙලේම...අනේ ඔයා මගේම උනානන් කියල. බැරි වෙලාවත්...කොහේ හරි මුල්ලක හැංගිලා තියෙන වාසනාවක් නිසා හරි කවමහරි දවසක එයා මගේ උනොත්...අර හිත ඇතුලේ හිර කරන හිටිය සතුට දොරේ ගලාගෙන යාවි...

ගොඩක් සංකීර්ණයි කියල ලියන්න පටන්ගත්තට හරිම සරල උනා අන්තිමේදි...ඉතින් මේක කියෝලා මට බනින්න නං එපා :) ඔයාලගේ විග්‍රහත් ලියල තියල යන්න...මට අලුත් අදහසක් එකතු වෙයි එතකොට....

~නෙතුපුල්~