Monday, October 12, 2015

මා වෙනුවෙන් දුක් වන අම්මාට...


කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්න
මොකටද තවත් දීගෙක යන්නේ හනික
තනිකම පොදුයි සැම හට මැරෙනා දිනක
ඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...

සිතනා බව දනිමි නුඹ මා ගැන නිතර
එනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට 
දිවි මග හරිම සරලයි තනිකඩ කමට
ඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?

~නෙතුපුල්~

Tuesday, October 6, 2015

මලක් හිරුට කිව් කව...

Image result for flower under the sun painting

පෙති විදාලන මලක රොන් බිඳු
උරන්නට බමරුන් සිටියි
මගේ පෙති වල දැවටි යන්නට
දහස් බමරුන් මෙහි ඇදෙයි...

හිරු කිරණ ලද මලේ පෙතිවල
රැඳුනු උණුසුම තව තියෙයි
පෙම් කරන්නේ හිරුට පමණයි
ඇවිත් යන බමරුට නොවෙයි...

~නෙතුපුල්~


...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ...
පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

Monday, October 5, 2015

නෙතුපුල්ගෙන් දෙවෙන්ද්‍රෙරා සං වෙත...

ජයලත් මනෝරත්නයන්ගේ ගුරු තරුව නාට්‍යයේ මෙහෙම සංවාදයක් තියෙනවා...

මාලිනී: 
...එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි...අද දවස හමාර වුනාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්නා ඉන්නවා. හෙට මම විතරයි...හෙටත් අනිද්දටත් කවදාටත් මම විතරයි...
...මොකද්ද වෙනස? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනවා බොනවා. වැඩට යනවා. කතා බහ කරනවා. මාත් මේ ඔක්කොම කරනවා. එත් මම විතරයි...ඔබ නෑ...

සාහිත්‍ය ගුරුතුමා:
තව කල් දැම්මත් කවදා හරි යන්න එපායැ. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.
...නොගියොත් යලිත් ආ නොහැකිය. යාම හොඳය. ගොස් ඊම ද හොඳය.ලොව ඇත්තේ යාම් ඊම්ය. නෑවිත් යන්නට බැරිය. නොගොස් එන්නට බැරිය...

මේ සංවාදයේ මුල් තියෙන්නේ මළවුන්ගේ අවුරුදු දා කියන පොතේ...මේ ඔක්කොම කියවද්දී නෙතුපුල් ට හිතුනු දේ මේ මුල් සංවාද තරන් හර බර නැතුව ඇති...එත්...මේ විදිහට හිතන්න තරන් නෙතුපුල්ට නම් ශක්තියක් නැහැ...


නොයා එන්නට බැරි වුනත් නුඹ 
එපා යන්නට දමා තනිකර
නැවත එනතුරු පෙරුම් පිරුමට
නොහැක මට තනිකමින් ඉන්නට...

හෙටත් හිරු පායාවි - අලුත් මල් පීදේවි
දිනක් ගතවී යාවි - මමත් මෙහි තනි වේවි 

මලට හිරු ඇවැසිමය පෙති විදා පුදන්ට 
මටද නුඹ ඇවැසිමය සිනාවක් පුබුදන්ට...

~නෙතුපුල්~

Monday, September 28, 2015

බලාපොරොත්තුව...


Image result for sad girl window painting

දහස් වර සිහින දුටු
සොඳුරු වූ 
ඒ දවස...
උදා වේවී කියා
බලා සිටිනෙමි 
තවම...

~නෙතුපුල්~

Tuesday, September 15, 2015

ජීවිතය සහ මනුස්සකම...

සුජී දීපන් ෆෝන් එක ළමයෙකුට...

මේ වීඩියෝව දැකපු පලවෙනි වතාවේම මට හිතුන ඇයි මේ මනුස්සයට මෙච්චර හිනා වෙන්නෙ කියල...පහු වෙලා හරි මුණු පොතේ සාධාරණ පොස්ට් එකක් දාල තිබුන...ඒ ලින්ක් එක මෙතනින් බලන්න:
https://www.facebook.com/801928453229889/photos/a.810756802347054.1073741829.801928453229889/895914413831292/?type=1&__mref=message_bubble

ගොඩක් දෙනා මනුස්සකමක් ඇතුව මේකට කොමෙන්ට් දාල තිබුනත් එක්තරා පුද්ගලයෙක් මෙහෙම ලියල තිබුන:

මමනම් මේ කතා කරන විදිය දකින්නේ ඒ අම්මගේ අසරණ කමක් හෝ දුප්පත් කමක් විදියට නෙවෙයි, දෙනෝදාහක් ගැවසෙනතැනක සංවරයක් නැතුව කරන ඉතාම පහත් කතාවක්... හොදින් බලන්න මේක වීඩියෝ කරන්නේ පිටරටක කෙනෙක්.. අරාබියෙන් මේ කෙනාට කියනවා හෙමින් හෙමින් කතාකරන්නකියලා. මෙය ඇසින් දකින කෙනාඋනත් දකිනවා මේ කතාව නරක දෙයක් කියලා ඒක නිවැරදි කරන්න හොද දෙයක් නෙවෙයි. දැඩිලෙසපිළිකුල් කලයුතු දෙයක්.... ඒවගේම..මේ කතාවඅම්මා කියන සළුවෙන් වහන්න එපා...ඒක සංවර අම්මලාට කරන අපහාසයක්....

මේක දැක්කම පුදුම හිතුන මෙහෙම මිනිස්සුත් ඉන්නවනේ මේ ලෝකේ කියල.

මිනිස්සුන්ගේ සංවර කම, හොඳ කම තියෙන්නේ ඒ මනුස්සයට දරාගන්න පුළුවන් තරමේ ආකෘතියක් ඇතුලේ ඉන්නකල් විතරයි...සාමාන්‍ය පවුල් වල ඉපදුනු, සමාජයේ නරකයි කියල වර්ගීකරණය නොවුනු අපිත් කවමදාකවත් නරක වචනයක් කියල නැද්ද? අපිත් මේ තරමින්ම අසරණ වුනොත් මම නං හිතන්නේ නැහැ අපිත් කියයි කියල අනේ ඩාර්ලින් ඔය ෆොන් එක ළමයෙක්ට දෙන්න කියල....

මේ කාන්තාව කොයි තරම් ප්‍රශ්ණ ගොඩක ඉන්න ඇත්ද? ඒ ඇමතුම විසන්ධි වුනාම ආපහු ලංකාවට කතා කරන්න තරන් සල්ලියක් ඒ මනුස්සයට තියෙන්න නැතුව ඇති...ඒ තරමටම තරහ යන එක සාධාරණයි...ඒ කාන්තාවට එතන ඒ විදිහට කතා කරන එක හරි නැහැ කියල තේරුම් ගන්න පුළුවන් තරන් උගත් කමක්, සමාජ දැනුමක් තිබ්බනං මම නං හිතන්නේ ඒ විදිහට වෙන මිනිස්සුන්ට බැලමෙහෙවරකම් කරන්න රට යන්න සිද්ධ වෙන එකක් නැහැ...

වෙන මිනිස්සුන්ට හිනා වෙන්න කලින්...විවේචනය කරන්න කලින්...ඒ තත්වේ තමන්ටම ආරෝපණය කරගෙන බලන්න පුළුවන් උනානං හරිම වටිනවා...

~නෙතුපුල්~

නුඹ හා මම...

Image result for girl watching the boy leaving

ලැබුනොත් ඉඩක් යන්නට මා හැර දුරට
යනවද මා දමා නැවතත් නොඑන්නට
මිදුනොත් නුඹේ සිත මාගෙන් මොහොතකට
නැවතත් හැරී නොම ඒවිද මා වෙතට...

සිහිලැල් පවන වෙන්නට වියලුනු සිතට
මිහිරැති දසුන වන්නට නුඹ මා නෙතට
සෙනෙහස් වදන් අසනට මා සවනතට 
පමණයි අවැසි වුයේ මා හදවතට...

වෙනසක් කරන්නට නම් නුඹේ දිවි මගට
කිසිදා නොසිතුවෙමි මා එක් මොහොතකට
සෙනෙහස පිරුණු දිවි මග නුඹ හට උරුම
සැමදා විඳින්නට පතනෙමි පිවිතුරුව...

~නෙතුපුල්~

Tuesday, September 1, 2015

බිඳුණු සිතුවිලි...



නුඹ නිසා මා නෙත් අගින් ආ
කඳුළු ගැන නුඹ නොදන්නේ
නුඹ නිසා මා පැතු පැතුමන්
කිසි දිනෙක නෑ දැනෙන්නේ...

අහස ඉල්ලා හඬන දරුවෙක්
වගෙයි මට මා දැනෙන්නේ
බිඳුණු දිවි මග සොයන බවකුයි
මෙදින මා හට සිතෙන්නේ...

සෙනෙහසින් මා සිතින් බැඳුනත්
නොමැත පාරමි පුරන්නේ 
නුඹ මගේ නොව මා නුඹේ නොව
එයයි උරුමය මේ භවේ...

~නෙතුපුල්~