Saturday, January 10, 2015

rural middle-class Sinhalese idiots!


ජනාධිපත්වරණ ප්‍රතිපල අහල හිත කලකිරිලා බ්ලොග් අවකාශයේ සැරිසරමින් ඉන්න අතරේදී ඉංග්‍රීසි භාෂාවෙන් ලියපු ලිපියක් මම දැක්ක. හිතට බොහොමත්ම අමාරු උනේ කටමැත දොඩන්නේ නැතුව, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් මහින්ද මහත්තයව දිනවන්න තමන්ගේ අහිංසක චන්දය දීපු කොළඹින් පිට පළාත් වල ඉන්න සිංහලයව හඳුන්වන්න යොදපු යෙදුමටයි. විරුද්ධ මත මට ඉවසන්න පුළුවන්. නමුත්, මේ අහිංසක මිනිස්සුන්ට rural middle-class Sinhalese idiots කියල කියනවටනම් මම බොහොමත්ම විරුද්ධයි.

මම කියවපු ඒ ලිපිය මෙතනින් බලන්න:
https://lefroy.wordpress.com/2015/01/09/feeling-free/

ගම් වල ඉන්න මධ්‍යම පන්තික මිනිස්සු මෝඩයින්ද? සිරස මාධ්‍ය ජාලයෙන් ප්‍රකාශය වෙන දේ විතරයිද හරි? එතකොට රුපවාහිනී, අයි.ටී.එන් එකෙන් එදා මෙදා තුර කිසි ඇත්තක් කියල නැද්ද? ඇයි මෙහෙම අන්තවාදී ප්‍රකාශ කරන්නේ? 

මේ ලිපිය ලියපු පුද්ගලයා කොළඹ 7 ඉපදුනු කෙනෙක් වෙන්න ඇති, උසස් යයි සම්මත පන්තියෙත් වෙන්න ඇති...සිංහලත් නොවෙන්න ඇති සමහර විට...හැම කෙනාටම අදහස් ප්‍රකාශ කිරීමට සමාන අයිතියක් තිබ්බට ඔය ලිව්ව මහත්තය හෝ නෝනා (මම දන්නෙ නැහැ ඔබ කවුරුන්ද කියල) මිට වඩා සංයමයකින් ඒ මිනිස්සු ගැන කතා කරානම් බොහොම වටිනවා...

ඔබ නොදන්නවා වෙන්න ඇති...ඔය rural middle-class Sinhalese idiots ල තමයි මේ රටේ ජීවනාලිය. ඒ මිනිස්සු ඔබ තරම් ඉගෙනගෙන නැතුව ඇති. ඒත් ඒ මිනිස්සුන් එකා වන්ව සිංහලයා වෙනුවෙන් චන්දෙ දුන්නා. ඔබ කියන උසස් පන්තියේ මිනිස්සු මහ ලොකු කතා කියමින් රට අරාජික කළා...එහෙම බලද්දී බුද්ධිමතා කවුද? 

ඔය rural middle-class Sinhalese idiots ල තමයි රටට රණ විරුවෝ බිහි කලේ...ඒ මිනිස්සු ජීවිත පූජා කරලා දිනා දුන්න නිදහස නිසා තමයි ඔබතුමා (හෝ ඔබතුමිය) අද මේ කටමැත දොඩවන්න ජීවත් වෙන්නේ...ඒ මිනිස්සුන්ට අවශ්‍ය ගරු කිරීම ලබා දෙන්න. එතකොට ඔබ අඩුම තරමින් සංයමයකින් යුතු පුද්ගලයෙක් විදිහටවත් අපිට පෙනී යාවි.

~නෙතුපුල්~

Friday, January 9, 2015

ජනාධිපතිවරණය සහ සිංහලයාගේ පැරදුම...


කිසිදා නොතිබුනා මේ රට නිදහස්ව 
සැමදා සැමදෙනා බැලුවේ සොලවන්න
අපගේ නිදහසේ සලකුණු කරලන්න 
නුඹ හට හැකි වුනා ලක් මව ජය ගන්න...

කල කී දේ මතක නැත අප හෙළයන්ට
කල ගුණ සැලකුමක් ඕනෑ නෑ රටට
සෙන්කඩගලත් පරදා දැමුවයි නුඹව 
හෙළ පැරදුමයි පෙන්වන්නේ මේ තරම...

නුඹ හෙළ රජෙකි කිසි දින අමතක නොවෙන
හරි සිංහලුන් සැමදාමත් නුඹ සමග
නුඹේ ගුණ වරුණ අප හද තුල ඇත තවම 
නුඹ සැමදා දිනයි අප හදවත් අතර...

හිමියන් සෝම පැවසු සියලුම දේම
අද සැබවින්ම පෙන්වන්නේ අප සැමට 
හෙළ රජ කෙනෙක් පත් කෙරුමට ලක් මවට 
කිසි දින නොලැබේවි නැවතත් අප සැමට...

~නෙතුපුල්~

Friday, January 2, 2015

මා කලොත් හරි! නුඹ කලොත් එය වැරදි...


මේ කාලේ තරන් මිනිස්සු අනික් අයට මෙත් වඩන කාලයක් බුදු හාමුදුරුවන්ගේ දවසේදිවත් තිබුනද කියල මටනං ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා...පන්සිල් පද පහ හරියට පිළිපදින්න නොදන්න අපේ මිනිස්සු වැරදි කරන අයව නිවැරදි කරන්න ඕනි කියල කට පුරා කියන්නේ හරියට තමන් රහත් පල ලබාපු උත්තමයින් කියල හිතාගෙනද මන්දා...තමන්ගේ ජීවිතේ තියෙනකල් තමන්ගේ ගැනිට දස වද දුන්නු මිනිස්සු අද අවනීතිය ගැනත්, යහ පාලනයක් ගැනත් කියවනවා...බලය ඇති නැති හැමෝම තමන් නොහැදී, අනුන් හදන්න පුදුමාකාර උත්සහයක් ගන්නවා...

මේවා දකිද්දී හිතට දැනෙන්නේ වේදනාවක්. තමන්ගේ දේශපාලන මතවාදය මොකක් වුනත්, අපි හැමෝම තේරුම් ගන්න ඕනි අපි වෙන කෙනෙක් විවේචනය කරනවානම් ඊට කලින් තමන් හැදිලා ඉන්න...එහෙම බැරිනම් මේ වගේ පුළුල් දේවල් ගැන කතා කරන්න ගිහින් තමන්වම ප්‍රදර්ශණය කරගන්නේ නැතුව; අඩුම තරමින් තමන් මත යැපෙන අයට ඉටු කරන්න තියෙන යුතුකම් ටික ඉටු කරන්න...

ඒ අතරෙදිම අමතක කරන්න එපා...ඕනිම කෙනෙක්ගෙන් සිද්ද වෙච්ච හොඳක් තියෙනවනම් ඒක ගැන හොඳ වචනයක් කියන්න ඔය හැටි දෙපාරක් හිතන්න එපා. තමන්ගේ හිතට අවංක වෙන්න...එතකොට ඇත්ත ඇති හැටියෙන් පේන්න ගනීවි. 

කිසිම කෙනෙක් සර්ව සම්පුර්ණ නැහැ...වෙන කෙනෙකුට බනින්න කලින්...යහ පාලනයක් කියල කෑ ගහන්න කලින්...තම තමන්ගේ තියෙන වැරදි හදාගන්න...තමන් බොරු කියන ගමන් අනුන් බොරු කියන එක නවත්තන්න හදන එකෙන් ඇති වැඩක් නැහැ...තමන් හොරකම්, මැරකම් කරන ගමන් අනුන්ගේ දේවල් නවත්තන්න බැහැ...

මුලින් තමන් හැදෙමු....ඊට පස්සේ අනුන් හදන්න බලන්න...

~නෙතුපුල්~


Thursday, January 1, 2015

සුභ නව වසරක් වේවා...


නව පැතුමන් සදා ඉහලින් ඉටුවන්න
නව හැඟුමකින් සිත් මල සනසා ගන්න
නව වසරකට සුබ ආසිරි ගෙන එන්න
නව පදවැලක් ගොතනෙමි හිමිදිරියෙන්ම...

~නෙතුපුල්~

Monday, December 29, 2014

එදා, අද සහ හෙට...



යහපත් කාලයක් උදා වුනාම...හිතට කරදරයක් වැඩිය නැති උනාම...මිනිස්සු තමන්ගේම අතීතය වගේම ඒ අතීතයෙන් වර්තමානයට එන්න විඳපු දහසකුත් කරදර දුක් වේදනා අමතක කරලා දාන බව මේ දවස් වල ඇහෙන දකින කතා බහින් හොඳට පැහැදිලි වෙනවා...ඒවා ඇහෙද්දී හිතට දුකයි...ඇයි මේ මිනිස්සුන්ට මේ කෙටි කාලීන අතීතය අමතක වෙන්නේ?

මිනිස්සු වැඩිපුර කතා කරාට තමන්ගේ මතය ගැන විශ්වාසය තියන්න...කවුරුත් ආවේගයෙන් කතා කරපු පලියට, හිතට එකඟව තමන්ට දැනෙන දේ අමතක කරන්න එපා...ඒක හරියට පොඩි කාලේ ඉඳන් දහ දුක් විඳන් තමන්ව උස්මහත් කරපු තමන්ගේ දෙමව්පියන් දෙන්නව තමන්ට හරි ගිය දවසක අමතක කරල දානවා වගේ දෙයක් කියලයි මමනං විශ්වාස කරන්නේ...

මව් පිය දෙදෙන දෙමගක ගිය ඒ දවස 
සැම දින වෙඩි සද්ද ඇසුනා ඒ දවස 
කිසි නිදහසක් නොතිබුන ඒ කල දවස
අමතක කල නොහැක මටනම් කිසි දවස 

විඳිමින් නිදහසේ සුව අප සැම දවස
දකිමින් දියුණු වන රට දවසින් දවස 
කරමින් මතක නැති අප විඳි දුක් ගැහැට 
නොහැරෙන් වැරදි මගකට නුඹ හෙට දවස...

~නෙතුපුල්~

Monday, December 8, 2014

එදා සහ අද...


සීත අහසෙන් වැටුණු කඳුලැලි
නීල දිය දහරක් වුනා 
පෑවූ අවු රැස් එකට එක කර 
සුසිඳු හසරැල්ලක් කළා...

හීන දහසක් මකා දමමින් 
ජීවිතය ජීවත් කළා
වාරු නැතිවූ ජීවිතය අද 
සොඳුරු බිම් මඩලක් වෙලා...

~නෙතුපුල්~

Tuesday, November 4, 2014

නුඹ ගැන මතක...



සිඟිති සියුමැලි නුඹේ අත ගෙන
පාසලට නුඹ රැගෙන ගිය කල...
ළපටි නෙත් යුග කඳුළු බොඳ කර
බලා සිටියා මගේ අත ගෙන...

පළමු පාඩම මගේ මග හැර
නුඹේ නෙතගේ කඳුළු සිප ගෙන 
වැළඳ ගත් කල මා නුඹේ හිස
සැනසුනා නුඹ නගා මද හස...

කොස් ඔටුනු ලා රජ කරා නුඹ 
මල් දමින් මා හැඩ කලා නුඹ
කෙලි කවට සිනහා මැදින් අප 
ගෙවූ කල් මතකයි සදා මට...

ගෙවී ගියමුත් බොහෝ කල් අද
සිතේ දරමින් නුඹේ සෙනෙහස
සදා නොවෙනස් වේ මගේ සිත 
නැගණියයි නුඹ මගේ සැම දින... 

~නෙතුපුල්~