Tuesday, November 4, 2014

නුඹ ගැන මතක...



සිඟිති සියුමැලි නුඹේ අත ගෙන
පාසලට නුඹ රැගෙන ගිය කල...
ළපටි නෙත් යුග කඳුළු බොඳ කර
බලා සිටියා මගේ අත ගෙන...

පළමු පාඩම මගේ මග හැර
නුඹේ නෙතගේ කඳුළු සිප ගෙන 
වැළඳ ගත් කල මා නුඹේ හිස
සැනසුනා නුඹ නගා මද හස...

කොස් ඔටුනු ලා රජ කරා නුඹ 
මල් දමින් මා හැඩ කලා නුඹ
කෙලි කවට සිනහා මැදින් අප 
ගෙවූ කල් මතකයි සදා මට...

ගෙවී ගියමුත් බොහෝ කල් අද
සිතේ දරමින් නුඹේ සෙනෙහස
සදා නොවෙනස් වේ මගේ සිත 
නැගණියයි නුඹ මගේ සැම දින... 

~නෙතුපුල්~

Sunday, October 26, 2014

දිවියේ අරුත සොයමින් වෙහෙසෙන අප...



සොඳුරු ගී වැල් මිහිරි වන්නට
පද බඳින නුඹ සොඳුරුමයි 
අඳුරු තිර පට ඉරා ලන්නට
වෙර දරන නුඹ පියකරුයි...

වේදනා දහසකින් පිරවූ
පෙම් කඳුළු උල්පතක් වැනි වූ 
අපේ පෙම් දම් මලින් පරවූ 
අතීතය සිහිනයක් වැනි වූ... 

පැටලෙනා දිවියකින් නිමවූ
අපේ ප්‍රේමය සදා බොඳවූ 
නෙතු සිනා කැන් කඩා බිඳ ලූ  
අපේ මං පෙත් වසා රිදවූ... 

ඒ කඳුළු රැළි පිසදලන්නට 
වැසුණු මං පෙත් හෙළි කරන්නට
සිහිනයන් හැර දමා යන්නට
මං ඇරේවා නුඹට මට හෙට...

~නෙතුපුල්~


Friday, October 24, 2014

නොපැවසුනු ප්‍රේමය...


දස වසකටත් පෙර දිනයක මුණ ගැසුන
නුඹ අද තවම මා වෙනුවෙන් සිත තවන
නුඹ සිත පතුලෙ මා වෙනුවෙන් ඇති හිඩැස
පුරවනු නොහැකි වෙයි මා හට කිසි දවස...

~නෙතුපුල්~

ජීවිතය...



කඳුළැලි වැටී ඇති ගංගා දිය තරම
දුක් සෝ සුසුම් ඇති සැඩ සුළගක් තරම
හද ඉරි තැලී ඇති රළු කතරක් තරම
දිවි මග අතරමන් වී දෝ මේ තරම...

~නෙතුපුල්~

මගේ සදාදර මිතුරියට...



වැසි වසින විට හිරු කිරණ නුඹ
හිරු දරුණු විට වැටෙන පොද නුඹ 
හිස් අහස යට දිලෙන තරු නුඹ 
නිල් දියක් වෙයි සදා මට නුඹ

රළු වළා පරදවා සැම විට 
සිත් තොසින් පුරවලා එම විට 
මල් දමින් සරසනා දිවියම 
නුඹ මගේ සොයුරියයි සැම දින...

~නෙතුපුල්~

Thursday, October 23, 2014

සඳ දියවී සුනිල දියේ...



සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ මට මග නොහැරේ.
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ..

මල් පිබිදී හදගිස්සේ
කොඳ සිතුවිලි ලිහී වැටේ
පියුම් පිපී සිතුම් විලේ
මුවරද මුසු පවන් රොදේ
සුවඳ දැනේ ආදරේ...

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ..

වන වදුලේ තුරු අතරේ
කඳු අතරේ නිම්න දිගේ
ගං තීරේ රැළි අතරේ
සිත් පත්ළේ නිසන්සලේ..
සැගව තිබේ ආදරේ..

සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ.
තරු මිලින ව අහස තලේ
පිණි බිඳු වී බිමට වැටේ.
තරු ගණිනා අතරතුරේ
පුර හඳ නුඹේ මග නොහැරේ
සඳ දිය වී සුනිල දියේ
අහස යටින් ඉරක් පිපේ...

ගායනය : නෙත්මි දසනායක & උමේෂ් දිසානායක
පද රචනය : වර්ෂා රණසිංහ & නජාත් අක්රම්
තනුව : සුසිත චාමිකර
සංගීතය : යහජ කල්හාර

Tuesday, August 26, 2014

ආදරණීය අම්මේ...


කිරි කැටි බිලිඳු වයසෙදි මා රැක ගත්තා
කිරි බිඳු පොවා මා ඇති දැඩි කරගත්තා 
කවි ගී කියා මා නිදි කරවා ගත්තා
හැකි හැම දේම මා හට දී සිප ගත්තා...

නුඹ පෙව් කිරි වලට සැමදා ණයගැතිය 
නුඹ දුන් සෙනෙහසට කවි ලීවට මදිය
එනමුත් මා දිවිය හිමි නම් මා හටය 
වෙනසක් කිරීමට නම් මා හට නොහැක...

~නෙතුපුල්~