Saturday, November 26, 2016

මගේ නොවන මගේ ආදරය...

නිකැලැල් සිනාවෙන් පිරි නුඹෙ මුව මඩල
පිබිදී යාවි දුටු කල මා සැම දිනම
විහිදා දෑත පටලා මා ගෙල වටම
සිඹිනා කලට නොදැනේ කිසි දුක් මෙමට

කිසිදා නොවිඳි මවු පදවිය අහිමි කල
නුඹ රන් රුවන් පරදයි හිමි නැතත් මට
නුඹ වන් පුතෙක් ලබනට පින් නැතත් හෙට
නුඹෙ ආදරය එලියයි තනි දිවි මගට...

~නෙතුපුල්~

Wednesday, November 23, 2016

සඳ

පුර පොහෝ දින
දිදුලනා සඳ
පෙන්නුවත්
නුඹ නොදුටු ඒ සඳ
අමාවක දින
රිදවමින් නෙත
සොයා වෙහෙසී
හඬනු කුමටද...

~නෙතුපුල්~

Saturday, November 5, 2016

පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන්...

සඳ තරුත් නිහඬ කර
සිතුවිලිත් සසල කර
දී කඳුලු නෙත් අගට
නික්මුනා ඔබ දුරට...

කෙසේ නම් ඉවසමිද
අඩ අඳුර පිරි ලොවම
වසා ඇත අද
ඝණඳුර...

~නෙතුපුල්~

Thursday, September 22, 2016

අසම්මත පෙම...

හවස බැස යන
හිරුගෙ කිරණට
පෙම් කලෙමි
මගෙ යැයි සිතා

එහිරු කිරණත
රැදුන උණුහුම
මගේ පෙති
විකසිත කලා...

සුමුදු මොලකැටි
එමල් පෙති මත
නපුරු පිණි බිදු
විසිරැනා

එබව දැන දැන
ලොවට පෙනෙනට
හිරුත් මුහුදේ
සැඟවුනා...

හිරුගෙ සරණක්
නොලැබ කඩුපුල
රැයේ තනියම
වැලපුනා

හිරුට බැදි පෙම
නිසා අසරණ
මලක් දිවියේ
තනිවුනා...

-නෙතුපුල්-

Sunday, July 17, 2016

කඳුළු...

සිතක් පුරවන
පැතුම් පොදි බැඳ
නුඹට කැප කල
මගේ පෙම් මල
නුදුටු දෑසින්
ඉවත බලමින
නුඹේ සෙනෙහස
ඇයට පුද දෙන...

නුඹට නොදැනෙන
මසිත රිදවන
නුඹට වෙන් කල
මගේ දිවි මග
නුඹෙන් ඉල්ලන
එකම එක දෙය
නොලැබ තනිවම
සොවින් වැලපෙන...

~නෙතුපුල්~






Monday, March 21, 2016

:(

රිදුණු මා සිත
සනස ගන්නට
කිවූ වදනෙන්
රිදුන නුඹ සිත

දකින මා හද
දවන රිදුමක
තරම නුඹ හට
දැනේවිද අද...

Wednesday, February 24, 2016

සෙනෙහසේ කඳුළු...

ආදරය කල තරම් 
සෙනෙහසක් ලැබුනි නම් 
කඳුළු වැල් නොගලාවි
දුක් සුසුම් නොසැලේවි
නුඹ දමා හැර යන්න
කිසි දිනක නොසිතේවි...

~නෙතුපුල්~

Tuesday, February 16, 2016

සිහිනය

සිහිනයක් නම් මෙය
අවදි වන්නට
බැහැ මට...

~නෙතුපුල්~

Monday, February 15, 2016

තනිකම...



මතකෙන් නොමැකේවි කිසිවක් කිසිදාක
සිනහව රැව් දේවි සවනත හැමදාම
සුසුමක් ගිලිහේවි තනියට නැතුවාම 
උණුහුම අරන් එන්නේ නුඹ කවදාක...

~නෙතුපුල්~

Saturday, January 9, 2016

පිණි බිඳුව...


අඳුරු රැය ගෙවෙනා තුරා
සොඳුරු සිතුවම් හද පුරා
තුරුළු කරගෙන - නුඹේ උරහිස
මා සුසුම් රැල් දැවටුණා 

තුෂර බිඳු තණ පියලි මත්තේ 
මුතු පබළු සේ දැවටුණා
හිරු කිරණ ඒ පබළු ඔස්සේ
සුසම් රැල් විහිදාලුවා...

සඳුට පමණක් පෙනෙන සෙනෙහස
හිතේ කොනකට සිරවුණා 
හිරුට හිමි ලොව පිණි බිඳුව මම
බලා ඉමි රැය එන තුරා...

~නෙතුපුල්~

Friday, November 20, 2015

(අ)හිමි

සොඳුරු මොහොතක් 
ගෙවෙන සැම කල
අහිමි බව නුඹ
සිහි කරමි මම...

~නෙතුපුල්~

Friday, November 13, 2015

සාපේක්ෂ සත්‍යය...

වද කහ ද බිව් පසු
සුදු විය නොහැකි වූ කල
අවට උන් කළු කර
සතුටු වුනි උන් පිටුදැක...!

~නෙතුපුල්~

Monday, November 9, 2015

සමාජ සම්මත

සමාජ සම්මත මුලාවේ පැටලුනු ඔවුහු
මා දෙසට ඇඟිලි දිගු කර
අසම්මත යැයි චෝදනා කළහ
සම්මතය වර්ණනා කළහ...

එහෙත්...

අවස්ථාවක් ආ කල
සම්මතයට පිටුපා
අසම්මතය රස විඳිනට ඇති ඇල්ම
සඟවා ගැනීමට අපොහොසත් වුහ...

~නෙතුපුල්~

ප.ලි. ව්‍යාකරණ වැරදි පෙන්නලා දුන්න ඇනෝ ට ගොඩක් ස්තුතියි....

Monday, November 2, 2015

තනිකමේ සිතුවිලි...

ඝනදුරු රැයක සීතල නැති කරලන්න
බියකරු සිහිනයෙන් මා මුදවා ගන්න
පියකරු වදන් මා සවනත මුමුනන්න 
කෙදිනද එන්නෙ මා තුරුලට අරගන්න...

සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට 
දෙතොලත රැඳුනු පිණි බිඳුවක් පිසින්නට 
ගං දිය රැලක සිසිලස ගත වෙලන්නට 
හෙට දුර වැඩිය මග බලමින් හිඳින්නට...

~නෙතුපුල්~



"සඳ උණුහුමෙහි සාවිය වී නිදන්නට" කියල මට ලියල දුන්න කළු හිම ගැන නොලිව්වොත් මම ආත්මාර්ථකාමී වෙනවා...මම හිතන්නේ ඒක තමයි මේ කවියට තියෙන ලස්සනම පදය...

Monday, October 26, 2015

අවසන් කවිය...



මතකයෙ  සියලු දේ කැටි කොට යලි දෙන්න
අවසන් වතාවට නොදැකම ඔබ යන්න...
ඔබෙ දිවි මගට යලි හිරු සඳු නැග එන්න
මගේ තරු එලිය සඟවමි යලි නොපෙනෙන්න...

~නෙතුපුල්~

යතාර්ථය

නුඹත් දන්නා
මමත් දන්නා
වෙන කිසිවෙකුත්
නොදන්නා
යතාර්ථය...

~නෙතුපුල්~






Sunday, October 25, 2015

මෙරුවෙක් පන් සිලට කිව් කව...


අඳුරු රැය දිදුලන
සිත් තුටින් පුරවන
මද සුළගෙ නැළවෙන 
නුඹ තරන් වෙන කිසිත් සොඳුරුද?

නැවත යන්නට බැරී
වෙනතක් බලනු නොහැකී
දිවි අඳුරු මැකුනී 
මගේ දිවි නුඹ හටම පුදමී...

සතුට හිමි මොහොතයි
එහෙත් නුඹ තව දිදුලයි
මියැදුනත් සතුටුයි 
නුඹේ උණුසුම සදා මතකයි...

~නෙතුපුල්~


මගේ පරණ පොස්ට් එකකට ඇනෝල දෙන්නෙක් ලියපු දේවල් නිසයි මට මේ කවිය ලියවුනේ...පරණ කවිය මෙතනින් බලන්න...
http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html

Saturday, October 24, 2015

තනිකමේ උණුසුම...

මට නුඹ දැනෙන තරමට නුඹ හට මමද
දැනෙනා තරන් තව කිසිවක් සුන්දරද...
නුඹ හෙට ගියත් දුර ගමනක් තනිකඩව
ඔබෙ හද තබා ගමි මා ළඟ උණුහුමට...

~නෙතුපුල්~


පසුව ලියමි: දැනුයි මම දැක්කේ මේ මගේ 75 වන පොස්ටුව කියල. සිතුවිලි 75 කියන්නෙත් ලොකු ගානක්...ඒ ගැන වෙනම සිතුවිල්ලක් ලියන්න ඕනි...

Monday, October 12, 2015

මා වෙනුවෙන් දුක් වන අම්මාට...


කොහොමත් දිරා යන මගෙ කය රැක ගන්න
මොකටද තවත් දීගෙක යන්නේ හනික
තනිකම පොදුයි සැම හට මැරෙනා දිනක
ඒ වෙනුවෙන් කුමට වදවෙන්නේ සැවොම...

සිතනා බව දනිමි නුඹ මා ගැන නිතර
එනමුත් මවුනි නැත ඉඩ තව කෙනෙකුන්ට 
දිවි මග හරිම සරලයි තනිකඩ කමට
ඒ දිවි මගට වෙනසක් ඕනෑ කුමට...?

~නෙතුපුල්~

Tuesday, October 6, 2015

මලක් හිරුට කිව් කව...

Image result for flower under the sun painting

පෙති විදාලන මලක රොන් බිඳු
උරන්නට බමරුන් සිටියි
මගේ පෙති වල දැවටි යන්නට
දහස් බමරුන් මෙහි ඇදෙයි...

හිරු කිරණ ලද මලේ පෙතිවල
රැඳුනු උණුසුම තව තියෙයි
පෙම් කරන්නේ හිරුට පමණයි
ඇවිත් යන බමරුට නොවෙයි...

~නෙතුපුල්~


...කලින් මම ලිව්ව කවියට ඇනෝ කෙනෙක් ලියපු පිළිතුරු නිසදැස නිසා මට මෙහෙම අදහසක් හිතට ආවේ...
පරණ කවිය මෙතනින් බලන්න...http://nethupulgesithuwili.blogspot.com.au/2015/10/blog-post.html